පුවත්

ශ්‍රීලංකන් තවත් එයාර් බස් එකක් ගනියි

Published

on

ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන්යානා ඇණිය සදහා තවත් නවතම ඒ- 330 – 243 එයාර් බස් වර්ගයේ ගුවන්යානයක් කල් බදු පදනම මත ලබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා කියා සිටී.

ප්‍රංශයේ නිෂ්පාදිත මෙම  නව  ගුවන්යානය 01/16 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන්යානා ප්‍රමාණය 23 දක්වා වැඩි වී තිබේ. 

පුළුල් බද සහිත මෙම ගුවන්යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 22 ක් සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 240 ක් ඇති අතර එය ඇන්ජින් දෙකකින් බල ගැන්වෙන  බව දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි. 

මෙම නව ගුවන්යානය අද (17) අලුයම 12.36 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 563 ගුවන් ගමන් අංකය යටතේ ප්‍රංශයේ පැරිස් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති අතර, එය මෙරට වේලාවෙන් 08.05 ට පැරිස් ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබුණි. 

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මුහුණ දෙමින් සිටින ගුවන් ගමන් ප්‍රමාද වීම සහ අවලංගුවීම් වලට මෙමගින් යම් මට්ටමක විසඳුමක් ලැබෙනු ඇතැයි ගුවන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කියති.

Trending

Exit mobile version