මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සෑම දුරුතු පුන් පොහෝ දිනකම සිදුකෙරෙන අලුත් සහල් මංගල්‍යය චිරාගත සම්ප්‍රදායානුකූලව අද (13) පෙරවරුවේ යෙදුණු සුබ නැකතින් පැවැත්විණි.
ශ්‍රී දළඳා මාළිගාවට අයත් කුඹුරුවලින් ලබාගන්නා නැවුම් අස්වැන්න උපයෝගී කර ගනිමින් පිළියෙළ කරන ආහාර දළඳා සමිඳුන් උදෙසා පූජා කිරීම මෙහිදී සිදුවේ.
පෙර රජ දවසේ සිට පැවැත්වෙන මෙම අලුත් සහල් මංගල්‍යය පැවැත්වීමේ බලාපොරොත්තුව වන්නේ නව වසරේ ගොවිතැන් බත් සරුසාරව අටකොටු පිරී රට සමෘද්ධිමත් වීම යි.
ශ්‍රී දළඳා මාළිගාවේ තේවාව භාර අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා සංඝරත්නය, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු දළදා මාළිගාවේ කාර්ය භාර නිලිධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.