ආන්දෝලනයට ලක්ව මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකථන අංකය භාවිත කිරීමට ඔහුගේ බිරිඳ කර තිබූ ඉල්ලීමට සිය විරෝධතාව පළ කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ (12) දැනුම් දුන්නේය.
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොතිබීම සහ විමර්ශන කටයුතු තවදුරටත් කිරීම යන කරුණු මත අදාළ ජංගම දුරකථන අංකය භාවිත කිරීම සඳහා කරනු ලබන ඉල්ලීමට විරුද්ධ වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.
මියගිය දිනේෂ් ෂාෆ්ටර් විසින් භාවිත කරන ලද ජංගම දුරකථනයේ වට්ස්අප්, මැසෙන්ජර්, ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා දත්ත මෙන්ම විවිධ ජංගම දුරකථන යෙදවුම් 20 ක් පමණ පවතින බවත්, ඒවායෙහි දත්ත මැකී යෑමට නොදී සංරක්ෂණය කරන ලෙසත් ෂාෆ්ටර් පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඊට අමතරව දිනේෂ් ෂාෆ්ටර් සිය බැංකු ගිණුම් කටයුතුද ජංගම දුරකථනය හරහා කර තිබෙන හෙයින් එම ගිණුම් වෙත වෙනත් අයකු පිවිසීම සහ පරීක්ෂා කිරීම් කටයුතු සිදු කිරීම් වළක්වන ලෙස ද ෂාෆ්ටර් පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉල්ලා සිටියහ.
එම ඉල්ලීම් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මියගිය දිණේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකථනයේ තිබෙන දත්ත සංරක්ෂණය කරන ලෙසත් ඒ හරහා බැංකු ගිණුම්වලට පිවිසීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අදාළ ජංගම දුරකථන සමාගමට නියම කළේ ය.
මියගිය දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකථන අංකය ඔහුගේ බිරිඳට භාවිත කිරීමට අවසර දෙනවාද, නැද්ද පිළිබඳ තීරණය ලබන 15 වැනිදා ප්‍රකාශයට පත් කරන බවද මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.