Connect with us

පුවත්

සංවර්ධන සුවිප් කෝච්චියෙන් යවන්න යයි!

Published

on

ශ්‍රී ලංකාව පුරා විශාල පිරිසක් දෛනිකව මිලදී ගන්නා ලොතරැයි පත් දුම්රිය මගින් දිවයින පුරා ප්‍රවාහනය කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන්, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමග ඊයේ (19) පැවැත්වූ සාකච්ඡාවකදී මේ පිළිබඳ සාකච්ඡා කර තිබේ.

රාජ්‍ය ආයතන එකිනෙක අතර මනා සබඳතාවක් පවත්වා ගනිමින් කටයුතු කිරීම තුළින් ඒ සෑම පාර්ශ්වයකටම වාසිදායක තත්ත්වයක් නිර්මාණය වන බවත්, දුම්රියේ ආදායම ඉහළ නංවා ගැනීම උදෙසාත්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් ප්‍රවාහනයට දරන පිරිවැය අවම කිරීම සඳහාත් මෙම වැඩපිළිවෙළ හේතු වනු ඇති බව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව හා සමබන්ධ නිලධාරීන්, දුම්රිය නියාමකවරු, රියැදුරන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සිය උපරිම සහයෝගය දක්වනු ඇති බවත්, රටේ සියලු ප්‍රදේශ ආවරණය කරමින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව දුම්රිය දෙපාර්තමේන්තුව සතු බැවින් ඉදිරියේදී මෙවැනිම තවත් පාර්ශ්වයන් සමග භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන ගිවිසුම් සඳහා එළඹීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

පුවත්

ජනපති රුව සහිත ව්‍යාජ මුදල් නෝට්ටුව සෑදූ සැකකරු රිමාන්ඩ් (Update)

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් සහිත රු.5,000ක ව්‍යාජ මුදල් නෝට්ටුවක් සාදා අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු සැකකරු නොවැම්බර් 11වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් කැස්බෑව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

————

ජනපති රුව ඇතුළත් ව්‍යාජ මුදල් නෝට්ටුව සෑදූ අයෙක් අත්අඩංගුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් යොදාගනිමින් ව්‍යාජ මුදල් නෝට්ටුවක් සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ජනාධිපතිවරයාගේ රුව යොදාගනිමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද රුපියක් 5000ක නෝට්ටුවක අන්තර්ජාලයට මුදා හැරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔහු ඊයේ (04)  පස්වරුවේ පිළියන්දලදී අත්අඩංගුවට ගත් බවය.

මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් පසුගිය දිනවල දේශපාලන වේදිකාවේ උණුසුම් කතාබහක් මතුව තිබුණි.

නව රජය බලයට පත්වීමෙන් පසුව රුපියල් බිලියනයක් අච්චු ගසා ඇති බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වුණත්, මහබැංකුව ප්‍රකාශ කළේ එම වාර්තා පදනම් විරහිත බවය.

එමෙන්ම, වත්මන් ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් කර ඇති බවට එල්ලවන චෝදනා සත්‍ය නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් නිකුත් වූ මුදල් නෝට්ටුවක් පෙන්වන්නැයි,කැබිනට් ප්‍රකාශ අමාත්‍ය විජිත හේරත් පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කලේය.

Continue Reading

පුවත්

නව මැගසින් බන්ධනාගාරයේ දෙදෙනෙකුගේ වැඩ තහනම්

Published

on

By

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ හා ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකගේ වැඩ තහනම් කර තිබේ.

ප්‍රධාන ජේලර්වරයා සහ නියාමකවරයා විසින් කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින ජීවිතාන්ත සිරඳඩුවමක් විඳින සිරකරුවකු සමග අනිසි සම්බන්ධතා පවත්වා බන්ධනාගාරය වෙත රහසිගත ලෙස ජංගම දුරකථන රැගෙනවිත් බන්ධනාගාර රැඳවියන්ට ලබාදී ඇති බව සිදුකරන ලද මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක පැවසීය.

පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශනයකදී අනාවරණය වූ කරුණු අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සහකාර අධිකාරීවරයෙකු යොදවා සිදුකරන ලද මූලික විමර්ශනයට අනුව 2024.11.04 දින කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියතු ප්‍රධාන ජේලර්වරයා හා ගබඩා භාරකරු වශයෙන් සේවය කළ නියාමකවරයාගේ වැඩ තහනම් කරන ඇත.

දූෂණ ක්‍රියාවන්වලට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා අතර ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කර නඩු පැවරීමටද ඉදිරියේදී කටයුතු කරනු ඇති බවද ගාමිණී බී. දිසානායක පැවසීය.

මෙවන් දූෂණ ක්‍රියාවන්වලට සම්බන්ධ නිලධාරීන් කිහිපදෙනෙකු මේ වනවිට සේවයෙන් පහ කර ඇති බවද ඔහු පැවසීය.

(අරුණ)

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Published

on

By

ප්‍රදේශ කිහිපයකට පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එම සංවිධානය පැවසුවේ අද (05) පස්වරු 4.00 සිට හෙට (06) පස්වරු 4.00 දක්වා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවය.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, දෙහිඹ්විට, ⁠මාවනැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය, රුවැන්වැල්ල, වරකාපොළ, දැරණියගල, අරණායක සහ ගලිගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇහැලියගොඩ සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත “අවදානයෙන් සිටින්න” යන නිවේදනය නිකුත් කර තිබේ.

එමෙන්ම බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කුරුණෑගල, සහ මාතර දිස්ත්‍රික්ක සඳහා “විමසිලිමත්ව සිටින්න” ලෙසට දැනුම් දී තිබේ.

මේ අතර, අද (05) රාත්‍රියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ.

එමෙන්ම හෙට (06) මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

උතුරු සහ වයඹ පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved