ධාවන කටයුතු නතර කර තිබු අනුරාධපුරය – ඕමන්ත අතර දුම්රිය මාර්ගය ජූලි 15 සිට යළි ධාවන කටයුතු සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අලුත්වැඩියා කටයුතු සඳහා මෙම දුම්රිය මාර්ගය ජනවාරි මාසයේ සිට වසා තැබුණු අතර, ඉන්දීය ණය ආධාර යටතේ සිදුකළ එම නඩත්තු කටයුතු මේ වනවිට අවසන් කර ඇත.
අද (13) දිනයේදී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් එම මාර්ගයේ තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක් සිදුකිරීමට නියමිතය.
මෙම දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමත් සමග කොටුව – කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කිරීමට කටයුතු කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේවෙතත්, මහව – අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ග කොටස ඉදිරියේ දී අලුත්වැඩියා කිරීමට නියමිත අතර, එම කාලය තුළදී කොටුව – කන්කසන්තුරය අතර දුම්රිය ධාවනය නතර කිරීමට සිදුවනු ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.