පුවත්

ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් මිලියන 15ක ණයකින් සීගිරිය සංවර්ධනය කරන්න යයි

Published

on

සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් උප ව්‍යාපෘති 9ක් යටතේ සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් සංවර්ධනය කිරීමේදී  නව ගම්මාන රථගාල, සනීපාරක්ෂක පහසුකම් හා සීගිරිය පිවිසුම් මාවත සකස් කිරීම, සීගිරිය තොරතුරු කේන්ද්‍රය ස්ථාපිත කිරීම, මාපාගල පුරාවිද්‍යා ස්ථානය සංරක්ෂණය, සීගිරි වැව පුනරුත්ථාපනය, රාමකැලේ සිට පිදුරංගල දක්වා උරුම මාවත ස්ථාපනය, කළුදිය පොකුණ ආශ්‍රිත පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය, ඉනාමළුව වැව කේන්ද්‍රකර ගනිමින් සංචාරක විනෝදාත්මක කටයුතු සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, ගලේවෙල වැව කේන්ද්‍රකර ගනිමින් සංචාරක විනෝදාත්මක කටයුතු සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, දිගම්පතන ප්‍රදේශයේ කැලිකසල කළමණාකරන පද්ධතිය සංවර්ධනය කිරීම යන උප ව්‍යාපෘති 9ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවද එම අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය අධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 15ක වියදමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත්, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් රටට විශාල ආදායමක් උත්පාදනය කරගත හැකි බවත්ය.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සීගිරිය හා ඒ අවට හදුනාගත් බිම් ප්‍රදේශ ප්ලාස්ටික් භාවිතයෙන් තොර පරිසර හිතකාමී සංචාරක කළාපයක් සංවර්ධනය කරන බවත්, එහි මූලික සැලසුම් සැකසීමේ කටයුතු සියලුම පාර්ශවීය ආයතන හා එක්ව මේ ‍දිනවලදී සිදුකරනු ලබන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

සීගිරිය නගරය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේදී ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම, සංවර්ධනයට අවශ්‍ය පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීමටද කටයුතු කරන ලෙසද උපදෙස් දී ඇති අමාත්‍යවරයා, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට හා දඹුල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු දැනුවත් කරන ලෙසද නිළධාරීන්ට උපදෙස් දී තිබේ.

Trending

Exit mobile version