හෙරොයින් ග්‍රෑම්11.54ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා දෙකට වරදකරු වී කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබූ විත්තිකරුවෙකු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (11) නියෝග කලේය.
සම්පත් බී. අබේකෝන් හා පී. කුමාරරත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම ඊයේ දින කැඳවන ලදී.
විත්තිකාර අභියාචනයට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ එම නඩුවේ සාක්ෂි විභාගයේදී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති පරිදි සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අයිතිය අහිමිකර ඇති බවත් පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කිරීමට අපොහොසත් වී ඇති බවත් නිගමනය කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විත්තිකරුව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියම කලේය.
ඒ අනුව, මහාධිකරණය විසින් 2020.03.05 වන දින නිකුත් කර තිබූ තීන්දු ප්‍රකාශය ද අභියාචනාධිකරණය විසින් බල රහිත කර තිබේ.
ඉකුත් 2013 අප්‍රේල් මස 18 වන දා බොරැල්ල සර්පන්ටයින් පාරේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග ඩී. එම්. වසන්ත කුමාරය යන විත්තිකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව පැමිණිල්ලේ සඳහන්ය .
ලද රහසිගත තොරතුරක් අනුව එම විත්තිකරු ඔහුගේ නිවස පිහිටි මාර්ගය අසල සිටියදී එම පොලිස් නිලධාරීන් විසින් විත්තිකරුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු හැඳ සිටි කලිසම් සාක්කුවක තිබී රුපියල් තුන් ලක්ෂ දාහත්දහසක මුදලක් සොයාගෙන ඇති බවත් පසුව ඔහුගේ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී ඔහුගේ බිරියට අයත් රන් ආභරණ හා රුපියල් දෙලක්ෂ අනූහත් දහසක මුදලක් අල්මාරියක තිබී සොයා ගැනීම නිසා ඇයව ද අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන විත් පසුව එම මුදල් හා රන් භාණ්ඩ සමග මුදාහැර ඇති බව නඩු විභාගයේදී අනාවරණය වී තිබුණි.