මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මාර්ග සංඥා කණුවක ගැටී යෝධ ඇළට පෙරළී සිදුවූ අනතුරකින් මෝටර් රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවක් මියගොස් තිබේ.
එම අනතුරින් තුවාල ලැබූ තවත් කාන්තාවක් බකමූණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා ඇත.
ඊයේ (10) රාත්‍රී එම අනතුර සිදුව තිබුණේ බකමූණ පොලිස් වසමේ නාඋල ඇළහැර මාර්ගයේ අලිකන්ද ප්‍රදේශයේදීය.
අනතුරින් මියගිය රියදුරු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවටත්, මියගිය කාන්තාව හා තුවාලකාරිය නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි මවක සහ දියණියක බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමේ ලේඛන කිසිවක් හමුවී නොමැති අතර මෝටර් රථය ගොඩට ගැනීමට කටයුතු කරමින් පවතින බව වාර්තා වෙයි.
මෘත ශරීර බකමූණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බකමූණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.