Connect with us

පුවත්

ජාතික ජන බලවේගයේ පාස්කු ප්‍රතිඥාව

Published

on

2019 වර්ෂයේ අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) සිඳු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාවක් නිකුත් කර ඇත.

එය පහතින් දැක්වේ.

2019 අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කරගනිමින් අන්තවාදීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද ම්ලේච්ච මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අද වන විට වසර පහක් ගත වී ඇත. එම අවාසනාවන්ත දිනයේදී දෙව්මැදුරු තුනකටත් සංචාරක හෝටල් කිහිපයකටත් එල්ලකරනු ලැබූ අමානුෂික මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ක්‍රිස්තියානි/කතෝලික බැතිමතුන් ඇතුළු පුද්ගලයින් දෙසිය හැත්තෑතුන්දෙනෙකු (273) හට ජිවිත අහිමි වූ අතර, පන්සියයකට අධික පිරිසක් පූර්ණ හෝ අර්ධ අබාධිතයන් බවට පත් වූහ. එසේ අහිමි වූ ජීවිතවලට, එම ප්‍රහාරය මගින් අසරණ වූ පවුල්වල සාමාජිකයන් ට සහ එකී ප්‍රහාරය මගින් විනාශයට පත්වූ දේපල වෙනුවෙන් රජයට වගකීමක් ඇති බවත්, එම වගකීම මේ වන තෙක් නිසියාකාරව ඉෂ්ඨ කර ඇත්තේද යන කාරණය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් ඇති බවත් ජාතික ජන බලවේගය වශයෙන් පහත කරුණු ජනතාවගේ අවධානයට යොමු කරනු ලබන අතර, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් එම කරුණු සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටත් එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අවධාරණය කර සිටිමු. 

1.     පාස්කු බෝම්බ ප්‍රහාරය ජාතීන් අතර අසමගිය නිර්මාණය කොට ජාතිවාදී කෝලාහල ඇති කරමින් විශාල ජන ජීවිත හා දේපළ හානියක් සිදු කිරීම මගින් පටු දේශපාලන අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා කිසියම් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබූ කුමන්ත්‍රණයක් වන අතර එකි අපරාධයට සම්බන්ධ මහ මොළකරු සහ සැලසුම් කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ප්‍රමුඛ කටයුත්ත වන්නේය,

2.    පාස්කු ප්‍රහාරය සිදු කිරීමට පෙරාතුව ඒ පිළිබඳව නිසි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකළ සහ එම ප්‍රහාරය සම්බන්ධව සිදු කළ විමර්ශන වෙනතකට හරවා, එහි සැබෑ කුමන්ත්‍රණකරුවන් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරමින්, එම ප්‍රහාරයට සැබෑ ලෙසම වගකිවයුතු පාර්ශවයන් හඳුනාගනිමින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැලැක්වූ ආරක්ෂක අංශවල නිලධාරීන් සහ වෙනත් නිලධාරීන්ද ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු ඊට වගකිවයුතු සෑම දේශපාලන බලධාරීයෙක්ම නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම,

3.    i. පාස්කු වින්දිතයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරණ ලද මූලික අයිතිවාසිකම් නඩුවලදී වැරදිකරුවන් වූ දේශපාලන බලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ටද,

ii. දැනටමත් ජනාධිපති විසින් පත්කරන ලද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශවල ඇතුළත් දේශපාලන බලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ටද තරාතිරම නොබලා අපරාධමය චෝදනා ගොනු කිරීමට කටයුතු කරන අතර,

iii. අනාගතයේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් මෙම ම්ලේච්ච ප්‍රහාරයට අදාළව පත්කරනු ලැබීමට නියමිත විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශද පදනම් කරගනිමින් ඊට වගකිවයුතු දේශපාලන බලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිවද අපරාධමය චෝදනා ගොනු කිරීමට කටයුතු කරනු ලැබේ,

4.    මෙම ප්‍රහාරයට අදාළව දැනට විභාග වෙමින් පවතින නඩු, ප්‍රමුඛතා පදනමක් (Priority Basis) මත හැකි ඉක්මණින් අසා නිමකිරීමට අදාළ අංශවලට ඉල්ලීම් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම,

5.    මෙම ප්‍රහාරයට සම්බන්ධව මේ වනවිට මෙරටින් පැන ගොස් සිටින සියලුම අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම සහ මෙම ප්‍රහාරයේ සැලසුම්කරුවන් සහ කුමන්ත්‍රණකරුවන් කවුරුන්ද යන්න ඔවුන් මාර්ගයෙන් විමර්ශනය කිරීම සහ එසේ අනාවරණය වන සැලසුම්කරුවන් සහ කුමන්ත්‍රණකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් පැමිණවීම.

6.    මෙම ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ජීවිත සහ දේපළවලට නිසි ආකාරයේ වන්දි ක්‍රමවේදයක් හඳුන්වාදීම, ඔවුන් පත්ව ඇති මානසික ව්‍යාකුලභාවයන්ගෙන් ඔවුන් මුදවා ගත හැකි ආකාරයේ මනෝවිද්‍යාත්මක වැඩපිළිවලක් හඳුන්වා දීම,

7.    මේ සම්බන්ධයෙන් පත් කළ විශේෂ කොමිෂන් සභා සහ වෙනත් විමර්ශන මගින් හෙළිකරගත් තොරතුරු පදනම් කරගනිමින් තවදුරටත් විමර්ශනය කළ යුතු කරුණු රාශියක් පවතින බැවින්, ඒ පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂා කර සත්‍ය විමර්ශනය කරගැනීමට සහ පීඩාවට පත් පාර්ශවයන්ට යුක්තිය ඉෂ්ඨ කිරීම අරමුණු කරගනිමින් පූර්ණ අධිකරණ බලැති විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කොට එහි නිර්දේශයන් මත ඉතා කෙටි කලක් තුළ, මෙම ප්‍රහාරයන් දියත් කිරීමට කුමන්ත්‍රණය කළ අයවලුන්ට සහ විවිධ අයුරින් ඊට වගකිව යුතු පාර්ශවයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්, ඒ මත දඬුවම් පැමිණවීමත්, කිසිදු පැකිලීමකින් තොරව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් සිදු කරනු ලබන බවත් ශ්‍රී ලාංකේය ජනතාව වෙත මෙයින් දැනුම් දෙනු කැමැත්තෙමු.

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading

පුවත්

සමාජ මාධ්‍යයේ හුවමාරු වන දළදා වහන්සේගේ ඡායාරූපය ගැන විමර්ශනයක්

Published

on

By

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක් බවට නිරූපණය වන ඡායාරූපය සම්බන්ධව පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ මෙම දළදා වන්දනාවට සහභාගී වන සැදැහැවතුන් හට තමන්ගේ ජංගම දුරකථන ක්‍රියාකාර් තත්ත්වයෙන් තබා ගැනීමට හෝ දළදා වහන්සේ ඡායාරූප ලබා ගැනීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවය.

එසේ තිබියදී සංසරණය වන මෙම ඡායාරූපය දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාවේදි ලබා ගන්නා ලද ඡායාරූපයක්ද යන්න හා මෙය කවුරුන් විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක්ද එසේ නැතහොත් මෙය සංස්කරණය කරන ලද්දක්ද යන බව අනාවරණය කර ගැනීම සඳහා විමර්ෂනයක් ආරම්භ කර ඇති බවය.

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලීසිය සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved