ටෙලිග්‍රෑම් යෙදවුම භාවිතයෙන් සිදුවන සයිබර් ළමා අපයෝජන ක්‍රමයෙන් ඉහළ ගොස් ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන හා සයිබර් ආවේෂණ ඒකකයේ ස්ථානභාර විමර්ශන නිලධාරි චම්පික කේ. අයගම මහතා කියයි.
පසුගිය වසරේදී වාර්තා වූ සයිබර් ළමා අපයෝජන අතරින් සියයට දෙකක ප්‍රතිශතයක් ටෙලිග්‍රෑම් යෙදවුම ඔස්සේ වූ අපයෝජන වන අතර 2024 වන විට එය සියයට දහය දක්වා වැඩි වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන හා සයිබර් ආවේෂණ ඒකකය සඳහන් කරයි.
ටෙලිග්‍රෑම් යෙදවුම භාවිතයේ පවතින දැඩි අනාරක්ෂිත භාවය හේතුවෙන් ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන හා සයිබර් ආවේෂණ ඒකකයට වාර්තා වන ඇතැම් සිදුවීම්වලට එරෙහිව විරුද්ධව නීතිමය පියවර ගැනීම පවා ගැටලුවක් වී ඇති බව හෙතෙම පෙන්වා දෙයි.
අවුරුදු 14 සහ 17 අතර වයස් කාණ්ඩයේ පසුවන දරු දැරියන් වැඩි වශයෙන් සයිබර් අපයෝජනවලට ගොදුරු වී ඇති බවත් ඉන් බහුතරය දැරියන් බවත් වාර්තා වී ඇත. අපරාධකරුවන් අතර වැඩිහිටි අයවලුන් මෙන්ම දරුවන් සිටින බව සයිබර් ආවේෂණ ඒකකය සඳහන් කරයි. කෙසේවුවද අනෙක් සමාජ මාධ්‍යවල මෙන් ටෙලිග්‍රෑම් යෙදවුම භාවිතයේදී ගිණුම් හිමියා හෝ අපරාධකරු නිශ්චිතවම හඳුනාගත නොහැකි වීම අනතුරුදායක තත්ත්වයක් බව විමර්ශන නිලධාරි චම්පික කේ. අයගම පෙන්වා දෙයි.
ලිංගික ඇවිටිලි කිරීම්, ඡායාරූප විකෘති කර ප්‍රසිද්ධ කිරීම, ඡායාරූප හුවමාරු කිරීම් ආදිය සයිබර් ළමා අපයෝජන අතර බහුල ලෙස වාර්තා වී තිබේ.
අන්තර්ජාලය හරහා හුවමාරු වන ළමා ලිංගික ඡායාරූප හා වීඩියෝ ඉවත් කිරීමට ජාත්‍යන්තර වැඩසටහනක් පැවතියද ටෙලිග්‍රෑම් ආයතනය එයට සහයෝගය දී නොමැති බව විමර්ශන නිලධාරි චම්පික. කේ. අයගම පැවසීය. මේ හේතුවෙන් සයිබර් ළමා අපරාධ පාලනය අපහසු වී ඇත.
මූලාශ්‍රය – අරුණ