මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සතියක් ගතවන තෙක් පෙළපාලි යෑම තහනම් බව පොලීසිය දැනුම්දෙයි.
අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව සඳහන් කලේය.
ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වූ අද දිනයේ, පැවති සාමකාමී තත්වයම පශ්චාත් මැතිවරණ සමයේදීත් පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බවය.
“අද දවසේ පවත්වාගෙන ගිය සාමකාමී තත්ත්වය පශ්චාත් මැතිවරණ සමයේදීත් පවත්වාගෙන යෑමටයි අපි අපේක්ෂා කරන්නේ. ඒ සඳහා සහාය දෙන්න කියලා අපි සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අවබෝධ කරගත යුතු කාරණයක් තිබෙනවා.. කිසිම ආකාරයකින් පෙළපාලි යන්නට ඉඩ දෙන්නේ නැහැ. පාගමනින් හෝ රථවාහනවලින්. ප්‍රතිඵල නැරඹීමේදී පොදු ස්ථානවලට ඒකරාශී වෙලා ඩිජිටල් තිර යොදාගෙන නැරඹීමට අවස්ථාව දෙන්නේ නැහැ. එම ස්ථාන අපි විසුරුවා හැරීමට කටයුතු කරනවා.”