Connect with us

පුවත්

ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් කර ඇති විශාල බදු වංචාවක් සොයන්න අධිකරණ අවසරය

Published

on

තීරුබදු සහන බලපත්‍ර යටතේ රජයේ සේවකයන් සඳහා සුඛෝපභෝගි බී.එම්. ඩබ්ලිව්. වාහන 1728ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම මඟින් බරපතළ රේගු බදු වංචාවක් සිදු වී ඇති බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් අලුතින් විමර්ශනයක් සිදු කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියාචනාධිකරණය අවසර දුන්නේය.

මෙම විමර්ශනය කිරීමට එරෙහිව ‘ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් පෞද්ගලික සමාගම’ ගොනු කළ රිට් පෙත්සමක් විභාග කර අවසානයේ එය නිෂ්ප්‍රභ කරමින් මෙම අවසරය දෙන ලදි.

මෙම වාහන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී මූල්‍ය අක්‍රමිකතා සිදු වී ඇති බවට ජර්මානු රේගුව විසින් වාර්තාවක් දී ඇති බවට ද එම සිද්ධිය සම්බන්ධයෙන් නව විමර්ශනයක් සිදු කිරීමට නව කරුණු සහ සාක්ෂි ඇති බවට ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මේ බව තීරණය කරනු ලැබීය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ එකඟත්වය ඇතිව අභියාචනාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශ කෙරිණි.

රජයේ සේවකයන් සඳහා ලබා දෙන තීරුබදු සහන බලපත්‍ර යටතේ ‘බ්‍රෑන්ඩ් නිව් බී.එම්.ඩබ්ලිව්. වාහන’ 1728ක් 2011-2014 කාලයේදී ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම මඟින් බදු වංචාවක් සිදු වී ඇති බවට රේගු අධ්‍යක්ෂවරයා විසින් පෙත්සම්කාර සමාගමට එරෙහිව විමර්ශනයක් සිදු කර තිබේ.

එම විමර්ශන අවසානයේ තීරණය කර ඇත්තේ අදාළ වාහන ආනයනයේදී රුපියල් 117,700,00.00ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇති බැවින් රේගු පනතේ 119 වගන්තිය යටතේ වරදක් සිදු වී ඇති බවය. 

ඒ අනුව එක් වාහනයකට රුපියල් ලක්ෂය බැගින් දඩ අය කිරීමෙන් අනතුරුව අදාළ මුදා හැරීමට නියම කර තිබේ.

එකී තීරණයට එරෙහිව පෙත්සම්කාර සමාගම විසින් මීට පෙර අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබිණි. 

එමඟින් ඉල්ලා තිබූ අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ද විරුද්ධත්වය ප්‍රකාශ නොකළ අතර කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අදාළ තීරණය බලරහිත කරමින් නියෝගයක් නිකුත් කළේය. 

මෙම වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයක් සඳහා 2022.10.22 වැනි දින තමන්ට කැඳවීමක් ලැබුණු බව පවසමින් පෙත්සම්කාර සමාගම විසින් අභියාචනාධිකරණයට මෙම නව රිට් පෙත්සම ගොනු කළේ ඉන් අනතුරුවය.

එම පෙත්සමට අතරමැදි පාර්ශ්ව පෙත්සමක් ඉදිරිපත් කරමින් රේගු නිලධාරී මුරුගේසු තයාබරන් මහතා ඉල්ලා සිටියේ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසය. 

එම පෙත්සම සම්බන්ධයෙන් මූලික කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ විමර්ශනය සිදුකිරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් මීට පෙර නිකුත් කළේය.

එම පෙත්සම් විභාගයේදී රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා පෙන්වා දුන්නේ මෙම වාහන ගනුදෙනුවේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට ජර්මාණු රේගුව විසින් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවය.

ඒ අනුව අලුතෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා නව සාක්ෂි සහ කරුණු ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය තීරණය කර ඇත්තේ මෙකී වාහන ආනයනය කිරීමේදී බරපතළ මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇති බව පෙනී යන බවය.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම මඟින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය බලය ඉක්මවා කටයුතු කළ බව ඔප්පු කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය අපොහොසත් වූ බවට ද විනිසුරු මඬුල්ල විසින් තීරණය කර තිබේ.

ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට විනිසුරු මඬුල්ල විසින් තීරණය කරන ලදි.

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටියේය. 

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අතර අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටියේය.

මෙම පෙත්සමට මැදිහත් පාර්ශ්ව පෙත්සමක් ඉදිරිපත් කළ මුරුගේසු තයාබරන් මහතා වෙනුවෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතා පෙනී සිටියේය.

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved