පුවත්

පාස්කු ප්‍රහාරයේ 6වැනි සංවත්සරයට කලින් සංඥාවක් නාවොත් පාරට බහින්න වෙනවා – කාදිනල්

Published

on

පාස්කු ප්‍රහාරයේ හයවැනි සංවත්සරයට කලින් සංඥාවක් නොලැබුණහොත් පාරට බැසීම හැර වෙනත් විකල්පයක් නැතැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ බොරැල්ල අගරදගුරු නිවසේ පෙරේදා (15 ) පැවති ජුබිලි වසර වෙනුවෙන් වූ අගරදගුරු පදවි ජනසන්නිවේදන සමුළුවේ දී ය.

කාදිනල් හිමියෝ මෙසේ ද ප්‍රකාශ කළහ.

එක්නැලිගොඩ මාධ්‍යවේදියාට මොකද වුණේ කියලා අද වෙනකම් අපි කවුරුත් දන්නේ නැහැ. මාධ්‍යවේදී කීත් නොයාර්ට දසවධ දීලා කරදර කරලා අනූ නවයෙන් බේරුණේ. ලසන්ත වික්‍රමතුංගට ඉතාමත් භයානක මරණයක් අත්වුණා. මේ සියල්ල පිටිපස්සේ හිටියේ දේශපාලන ලෝකයේ අපේ නායකයෝ. අසාධාරණයට ලක් වූ ඒ කිසි කෙනෙක් ගැන කිසිම විධියකට යුක්තියක් ඉටු වුණේ නැහැ. තාමත් ඒක වෙලා නැහැ. පාස්කු ප්‍රහාරය ගැනත් අපිට කියන්න තියෙන්නෙ එයයි. මේ බටලන්ද පිළිබඳ වර්තාව කියන්නෙත් එවන් අතීතයක් ගැන අධම පෙළේ සිදුවීම් පිළිබඳ වාර්තාවක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. මිනිස්සු මරා දැමීම, අතුරුදන් කිරීම, මාධ්‍ය නිදහස සීමා කිරීම වැනි දේ එදා අසන්නට ලැබුණා. පසුගිය ආණ්ඩුව කාලයෙත් මේ මාධ්‍ය නිදහස නැති කිරීමේ අණපනත් පවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒවා අනුමත වෙලා සම්මත වුණා නම් අපේ මිනිසුන්ට වචනයක්වත් කතාකර ගන්න ලැබෙන්නෙ නැහැ. විශේෂයෙන්ම මාධ්‍ය නිදහස මනුෂ්‍ය ගරුත්වය ස්වධීනත්වය පාවා දෙන්න එපා. ඒ පාවා දෙන සංස්කෘතිය සදහටම ඉවර කරන්න. ඒකට තමයි අපි ඔබට බලය දුන්නේ. ඒ බලය පාවිච්චි කරලා කරුණාකරලා ඒ දේ කරන්න කියලා අද රට පාලනය කරන නායකත්වයෙන් මම ඉල්ලා සිටිනවා. පාස්කු ප්‍රහාරය ගැන අපි නිහඬ වෙලා නැහැ. අපි බලාගෙන ඉන්නවා ඒකට අවශ්‍ය කරන නීතිරීති සම්පාදනය කරලා ඒ නීති රීති වෙනස් කරන්න අවශ්‍ය නම් ඒවා වෙනස් කරලා යුක්තිය සහ සත්‍යය ඉටු කරයි කියලා. මෙතැනදී සිදු වුණේ මොකක්ද කියන එක අනාවරණය කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන්න කියලා මේ දැන් පාලනය කරන අයගෙන් ඉල්ලනවා. තව මාසයකින් පමණ පාස්කු ප්‍රහාරයේ හයවැනි සංවත්සරය සමරනවා. ඒ නිසා හයවැනි සංවත්සරයට කලින් සංඥාවක් ලැබුණොත් අපට සතුටු වෙන්න පුළුවන්. එහෙම නොවුණොත් අපිට සිදුවෙනවා පාරට බහින්න. වෙන විකල්පයක් නැහැ.

Trending

Exit mobile version