මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් වීමකින් සිටි බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
ඒ අනුව, පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඔහු ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් මඩකලපුව බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටි බවත්, එහි සිටිමින් පාස්කු ප්‍රහාරය ගැන පූර්ණ දැනුවත්ව සිටි බවට සාක්ෂි හා තොරතුරු මඟින් තහවුරු වී ඇති බව අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් සමඟ යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින්ද බන්ධනාගාරගතව සිට ඇති බවද, ඔවුන් පිල්ලෙයාන් සමඟ සමීපව කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.
පිල්ලෙයාන් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව දැනුවත්භාවයකින් සිටි බවට සාධාරණ සැකයක් මේ හරහා ඉස්මතු වන බවත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
©️ වීඩියෝ -Voice Tube