පුවත්

පොලිස්පතිගේ ස්ථාන මාරුවීම් ඉල්ලීම් පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි

Published

on

පොලිස් නිලධාරීන් 210 දෙනෙකු එකවර ස්ථාන මාරු කිරීම සඳහා පොලිස්පතිවරයා කළ ඉල්ලීම, ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර තිබේ. 

ඒ, අනුමත ස්ථාන මාරු ප්‍රතිපත්තියට අනුකූලව නිර්දේශ ඉදිරිපත් නොකිරීම හේතුවෙනි. 

පොලිස් කොමිසම පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත්තේ, ජනාධිපතිවරණය ආසන්නව තිබියදී එලෙස ස්ථාන මාරුවීම් විශාල ප්‍රමාණයක් ලබාදීම යෝග්‍ය නොවන බවයි. 

කෙසේවුවද, විනය කටයුතු සහ වෛද්‍ය නිර්දේශ සළකා බලා ඉන් 24 දෙනෙකුට පමණක් ස්ථාන මාරුවීම් දීමට පොලිස් කොමිසම අනුමැතිය දී ඇත. 

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් 14 දෙනෙකු එම ධුරයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා යොමු කරන ලෙස පොලිස් කොමිසම නිර්දේශ කර ඇත්තේ, කඩිනමින් විනය පරික්ෂණයක් පවත්වා වාර්තා ලබාදෙන්නැයි ද දැනුම් දෙමිනි. 

අදාළ විනය පරික්ෂණයේදී ඔවුන් විනය ක්‍රියාමාර්ගවලින් නිදහස් වන බව තහවුරු වුවහොත්, මීට පෙර හොබවන ලද ස්ථානාධිපති ධුරයට සමාන ශ්‍රේණියක ස්ථානාධිපති ධුරයක් සඳහා යොදවන ලෙස ද නියම කර තිබේ. 

පොලිස් කොමිසම සඳහන් කළේ, දැනට දරන ස්ථානාධිපති ධුරයෙන් ඉවත් කොට සාමාන්‍ය රාජකාරී සඳහා අනුයුක්ත කරන්නැයි පොලිස් ස්ථානාධිපතිවරුන් 8 දෙනෙකු කළ ඉල්ලීමට ද අනුමැතිය දුන් බවයි. 

වෛද්‍ය නිර්දේශ මත සෞඛ්‍ය තත්ත්වය සළකා බලා සාමාන්‍ය රාජකාරී සඳහා යොදවන්නැයි තවත් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු කළ ඉල්ලීමට ද කොමිසමේ අනුමැතිය හිමිවිය.

Trending

Exit mobile version