පුවත්

පොහොට්ටුවේ තීරණයේ වෙනසක් නැහැ

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ ලකුණින් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවත් එම තීරණය මේ දක්වා අභියෝගයට ලක් වී නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා ඊයේ (02) පැවසීය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මිලින්ද රාජපක්ෂ මහතා එසේ පවසා සිටියේය.

එම පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වී වාද විවාද කර බහුතර ඡන්දයෙන් සම්මත කරගත් බවත් එම තීරණය වෙනස් කිරීමට නම් නැවත දේශපාලන මණ්ඩලය රැස්වී වාද විවාද කර ඡන්ද විමසීමක් කළ යුතු බවත් රාජපක්ෂ මහතා සඳහන් කලේය.

එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට ඉඟියක් හෝ මේ දක්වා ලැබී නොමැති බව පැවසු මිලින්ද රාජපක්ෂ මහතා මහ ලේකම් තනතුර වෙනස් කිරීමට දේශපාලන මණ්ඩලයට නොහැකි බවත් ඒ සඳහා විධායක කමිටුව රැස් විය යුතු බව ද පවසා සිටියේය.

කිසියම් හේතුවක් මත පක්ෂයේ සාමාජිකයන් පක්ෂයෙන් ඈත් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් හෝ උත්සාහයක් නොමැති බවත් වර්තමානයේ මෙම උත්සාහය ද පක්ෂයේ සියලු දෙනාම රැකගැනීම බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කලේය.

Trending

Exit mobile version