පුවත්

බදු ගෙවීම පැහැර හැරියැයි ජනක රත්නායකට හා බිරිඳට අධිකරණයේ පෙනී සිටීමට නියෝග

Published

on

රුපියල් ලක්ෂ 336 කට අධික බදු මුදල් රජයට ගෙවීම පැහැර හරින ලදැයි කියන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති සහ හිටපු ජනාධිපති අපේක්ෂකයකු වූ ජනක රත්නායක හා ඔහුගේ බිරිඳට ලබන දෙසැම්බර් 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ ඊයේ (04) නියෝග කළේය.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් පැවරූ නඩු 02 ක් කැඳවූ අවස්ථාවේදී එම නඩුවල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි ජනක රත්නායකට සහ ඔහුගේ බිරිඳ වන කුමාරි ද සිල්වාට එම නියෝගය නිකුත් කළේය.

කොළඹ, කිරුලපන ප්‍රදේශයේ පරිගණක සේවා සැපයීමේ සමාගමක් (Rent a Company service Pvt Ltd) පවත්වාගෙන යමින් එහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරමින් 2016 – 2017 සහ 2018 වසරවලට අදාළ වැට් බදු සහ ආදායම් බදු රජයට ගෙවීම පැහැර හරින ලදැයි චෝදනා යටතේ මෙම නඩු ජනක රත්නායකට සහ ඔහුගේ බිරිඳට එරෙහිව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා කරුණු ඉදිරිපත් කරමින් වගඋත්තරකරුවන්ට අධිකරණය මගින් නිකුත් කළ නොතිසිය නිසි පරිදි දුන් බවට (අලවා භාරදී ඇති බවට) පිස්කල්වරයා කරුණු වාර්තා කර ඇති බව දන්වා සිටියේය. වගඋත්තරකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් ජයවර්ධන කරුණු ඉදිරිපත් කරමින්, සමාගමේ අධ්‍යක්ෂවරයකු අධිකරණයේ පෙනී සිටින බව සඳහන් කළේය.

(අරුණ)

Trending

Exit mobile version