හිටපු ජනාධිපති කෙනෙක් නිසා ප්‍රභූවරයෙක් කියලා හැඳින්වූවත් මහින්ද රාජපක්ෂට පොලිස් නිලධාරීන් තිස්දෙනෙකුගේ ආරක්ෂාව හොඳට ම ප්‍රමාණවත් බව මගේ විශ්වාසය යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කැලණිය නුංගම්ගොඩ පිහිටි එතුමාගේ පක්ෂ කාර්යාලයේදී පැවසීය.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව වත්මන් රජය විසින් කප්පාදු කිරීම ඇතුළු රටේ පවතින ප්‍රශ්න කීපයක් පිළිබඳව ඝෘජුව ම අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මෙසේද පැවසීය.
“මහින්ද රාජපක්ෂ මහතාට තිස් වසරක යුද සමයේදීවත් මරණ තර්ජනයක් තිබුණේ නැහැ.
2005 වසරේ පැවති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රකාශයේ තිබුණේ ප්‍රභාකරන් මහත්තයා හම්බවෙලා මේ රටට සාමය ගේන්න සාම සාකච්ඡා කරනවා. යුද්ධය මම අනුමත කරන්නෙ නෑ. යුද්ධයෙන් පිළිතුරු සොයන්න බෑ කියලයි මහින්ද චින්තනයේ තියෙන්නෙ. මහින්ද රාජපක්ෂ කියන්නෙ එල්.ටී.ටී.ඊ. හිතවාදී නායකයෙක් මිස ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් වුණු නායකයෙකු නොවෙයි.
යුද්දෙ ඉවර වෙන්න මාස තුනක් තියෙද්දී 2009.01.31 ඉඳලා පෙබරවාරි පළමු වන දා වෙනකන් සටන් විරාමයක් දුන්නා. අපි එපා ම කිව්වා. අවසානය පෙනි පෙනී ජයග්‍රහණය ඇස් ඉදිරියේ තියාගෙනයි මහින්ද සටන් විරාමයක් දුන්නෙ. ඒ සටන් විරාමය නුදුන්නා නම් ඊට දවස් තුනකට පස්සෙ අපි යුද්දෙ ඉවර කරනවා.
සටන් විරාමෙදී අපේ හමුදාව බැරැක්කවල ඉද්දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් අපේ හමුදාවට ගැහුවා. හමුදාවට සිද්ධ වුණා කිලෝමීටර් තුනක් ආපස්සට එන්න. මහින්දගෙ රජයෙන් එදා අනුමත නොකළ යුතුව තිබුණු මේ සටන් විරාමය දුන්නෙ ප්‍රභාකරන් ඇතුළු නායකයන්ට පැනලා යන්න තමයි.
ප්‍රභූවරයෙක් වුණාට එයාට වැඩි ම වුණොත් පොලිස් නිලධාරීන් තිහකගේ ආරක්ෂාව ප්‍රමාණවත් බව මගේ හැඟීමයි. කවදාවත් එල්.ටී.ටී.ඊ.ය ඩ්‍රෝන තාක්ෂණය තියා වෙන කිසිම විධියකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කරන්නෙ නම් නැහැ.”
මව්බිම