පුවත්

මාස 06ට ඩෙංගු රෝගීන් 26,000 ඉක්මවයි – ජීවිත 14ක් බිලිගනී

Published

on

මේ වසරේ ගතවූ කාල සීමාව තුළ මෙරටින් ඩෙංගු මරණ 14ක් සහ ඩෙංගු රෝගීන් 26,775 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළාය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරිය විසින් මේ බව සඳහන් කරන ලදී.

මේ වනවිට ළමා මරණ එකක් වාර්තා වී ඇති අතර, රෝගීන්ගෙන් 45%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇතැයි ද සමරවීර මහත්මිය පැවසුවාය.

“ලංකාව පුරා ඩෙංගු රෝගීන් 26,775ක් සහ ඩෙංගු මරණ 14ක් සිදුව තිබෙනවා. බස්නාහිර, නැගෙනහිර, සබරගමුව සහ දකුණු පළාත්වල රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙනවා….”

“…දිස්ත්‍රික්ක 16ක සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 111ක නැවතත් මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරනවා. මෙහිදී අවධානම් පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කරන්න අපේ කණ්ඩායම් එනවා. එහිදී ඔබ අපරික්ෂාකාරී ලෙස මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගියොත් රතු නිවේදන නිකුත් කිරීම සහ නීතිමය කටයුතු සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.”

ලබන 30 වැනිදා සිට ජුලි මස 05 වැනිදා දක්වා දිස්ත්‍රික් 16ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, පවතින නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්ත්වයත් සමඟ මදුරු ඝනත්වය ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

Trending

Exit mobile version