ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් වරක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සොයමින් සිටින බවට දේශපාලන ආරංචි මාර්ග පැතිර ගොස් තිබේ.
ඒ එළඹෙන ජුලි මාසයේ දී ජනමත විචාරණයක් පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට ආණ්ඩුවට සම්බන්ධ පිරිස් සාකච්ඡා පැවැත්වූ බවට මාධ්‍ය විසින් අනාවරණය කිරීමත් සමගය.
මේ අතර, අද දෙරණ වාර්තා කර ඇත්තේ මින් එක කණ්ඩායමක් සමග සාකච්ඡා වට 2ක් බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක පවත්වා ඇති බවයි.
හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වු ආකාරයට වත්මන් ආණ්ඩුවටත් කටයුතු කළ හැකිද යන්න සම්බන්ධයෙන් එම සාකච්ඡාවේ දී නීති විශාරදයින්ගෙන් විමසා ඇතැයි ද පැවසේ.
කෙසේ වෙතත් මෙම කටයුතු සඳහා අධිකරණ බාධා පවතින්නේ නම් ඊට ගත යුතු විකල්ප සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
නීති විශාරදයින්ගේ මතය වී ඇත්තේ ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා අවස්ථා දෙකක් හිමිවන අතර ජනාධිපතිවරයා රටේ යම් ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්ණයක් යොමුකර ජනමතයක් විමසිය හැකි බවය.
එමෙන්ම පාර්ලිමේන්තුවේ පණතක් හරහා තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගතහොත් ජනමත විචාරණයකට ගමන් කළ හැකි බව නීති විශාරදයින්ගේ මතය වී තිබේ.
ඒ අනුව එවැනි පනතකට තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට දැනට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාට ඉදිරිපත් කර පසුව ජනාධිපතිවරයාට යොමුකර ඇති තීරු බදු රහිත වාහන බලපත්‍ර ඉල්ලා සිටීමේ යෝජනාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇති බවද පැවසේ.
මේ නුව මුලින්ම, පාර්ලිමේන්තුවට අලුතින් තේරීපත්වුණු මන්ත්‍රීවරුන් හැත්තෑ නව දෙනාට තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බවට ද වාර්තා වේ.