රිළවුන් අපනයනය කිරීමට එරෙහිව ඉදිරිපත්වූ පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා අද (26) අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයා වෙත ජුනි මස 26දා තෙක් කල් ලබාදුනි.
මෙරට රිළවුන් ලක්ෂයක් චීන සමාගමක් වෙත අපනයනය කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙන අතර, මෙම ක්‍රියාව තුළින් බරපතළ සත්ත්ව හිංසනයක් සිදුවන බව පෙන්වාදෙන පෙත්සම්කරුවන් එය වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට පටහැනි බවත් කියා තිබේ.
පෙත්සම්කරුවන් වැඩිදුරටත් පවසා සිටින්නේ පරීක්ෂණ කටයුත්තක් සඳහා මෙරට රිළවු ලක්ෂයක් චීනයේ පිහිටි පෞද්ගලික සමාගමක් වෙත අපනයනය කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.