රේගුව භාරයට ගත් වාහන 637ක් කොළඹ සහ රුහුණුපුර වරායන්හි වසර ගණනක් තිස්සේ ගාල් කර තිබීම නිසා දිරාපත් වෙමින් තිබෙන බව ජාතික විගණනකාර්යාලයෙන් කළ පරීක්ෂණයකින් හෙළිව තිබේ.
මේ අතරින් වාහන 188ක් රේගු භාරයට ගෙන ඇත්තේ වසර පහකට පෙර බව ද හෙළි වී ඇත.
කොළඹ වරායේ වාහන ගාල් කර ඇත්තේ මට්ටක්කුලියේ පෞද්ගලික සමාගමකින් කුලියට ගත් ඉඩමක ය.
එම ඉඩම සඳහා වසරකට රුපියල් හාර කෝටි දහඅට ලක්ෂ පනස් දහසක් ගෙවන බව ද මෙම පරීක්ෂණයෙන් හෙළි වී තිබේ.
එම ඉඩම් ගාල් කර තිබෙන වාහන සංඛ්‍යාව 435ක් වන අතර රුහුණුපුර වරාය භූමියේ ගාල් කර තිබෙන වාහන සංඛ්‍යාව 202ක් බව පැවසේ.
මෙම වාහන කාලයක් තිස්සේ අංගණවල ගාල්කර තැබීම නිසා දිරාපත් වී ධාවනය ට නුසුදුසු තත්ත්වයට පත්ව තිබෙන බව ද එම වාහන වෙන්දේසි කර සාධාරණ මුදලක් ඉපයීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද පරීක්ෂණ වාර්තාවෙන් හෙළිව ඇත.
කෙසේවුද, සියලු වාහනවලට අදාළව මෙරටින් විනිමය වැයවීමක් සිදු වූයේද යන්න පිළිබඳව මෙතෙක් නිගමනය කර නැතැයි ද පැවසේ.
මෙම බොහොමයක් වාහන සඳහා වන පරීක්ෂණ තවමත් අවසන් නොමැති බව රේගු දෙපාර්තමේන්තුව විසින් විගණන කාර්යාලයට දන්වනු ලැබ තිබේ.
මෙම වාහන සම්බන්ධයෙන් සුදුසු කටයුතු කඩිනම්ව අවසන් කරන ලෙස විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.
සබැඳි පුවත්