වතු සේවකයන්ට වසර දහයක් පුරා නොගෙවූ රු. කෝටි 500කට අධික හිඟ අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්, පොලියත් සමග ගෙවීමට රජය තීරණය කර තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ මෙම හිඟ මුදල් ගෙවීමට ජනාධිපතිවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම මත ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වූ බවය.
රජයට අයත් වැවිලි සමාගම් වන ජනතා වතු සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතන තුනෙහි පමණක් රුපියල් කෝටි 500කට ආසන්න හිඟ අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල්, වසර දහයකට අධික කාලයක් නොගෙවා ඇති අතර මේ හේතුවෙන් විශාල වතු සේවක පිරිසක් අපහසුවට පත්ව සිටි බවද අමාත්‍යවරයා තවදුරටත් පවසයි.
රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අදාළ ආයතනවලට එරෙහිව වතු සේවකයන් විසින් පවරන ලද නඩු 2000ක් පමණ තිබූ අතර සේවකයන්ට විශාල නීතිඥ ගාස්තු ගෙවමින් මේ නඩු පවත්වාගෙන යෑමට ද සිදුව තිබූ බවය.
මේ හේතුවෙන්, මෙම හිඟ මුදල් ගෙවීම, එම වතු සේවකයන්ට විශාල සහනයක් මෙන්ම රජය විසින් ගත් විප්ලවීය තීන්දුවක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.