පුවත්

විනිසුරු නිල නිවසේදී පොලිස් සැරයන්වරයකු වෙඩි වැදී මරුට – දිවි නසා ගත්තේදැයි සැකයක්

Published

on

මාතර දිසා විනිසුරුවරියගේ නිල නිවසේ රාජකාරි කරමින් සිටි පොලිස් සැරයන්වරයකු අද (28) උදෑසන වෙඩි වැදීමක් හේතුවෙන් එම ස්ථානයේම මිය ගොස් ඇති බව මාතර පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර වෙරළ මාර්ගයේ පිහිටි මාතර දිසා අධිකරණයේ තුන්වන විනිසුරු රසිකා ද සිල්වා මහත්මියගේ නිල නිවසේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියෙකි. ඔහු, කැකනදුර, තල්පාවිල මැද පොල ගෙවත්ත පදිංචිව සිටි බන්දුල පුෂ්පකුමාර නැමැති 54 හැවිරිදි පොලිස් සැරයන්වරයකි.

ඔහු දිසා විනිසුරු නිල නිවසේ රාත්‍රි රාජකාරියේ යෙදී ඇති අතර, උදෑසන රාජකාරි අවසන් වීමට පෙර මෙම සිද්ධියට මුහුණ පා තිබේ. 

මරණකරුගේ පපු පෙදෙසට වෙඩි පහරවල් දෙකක් එල්ල වීමෙන් මරණය සිදුවි ඇති බවත්, ඔහුගේ රාජකාරී ගිනි අවිය ද මළ සිරුර තිබෙන ස්ථානයේ වැටී තිබූ බවත් පොලිසිය කියයි.

කෙසේ වෙතත්, මෙය සිය දිවි හානි කර ගැනීමක් ද එසේත් නොමැති නම් වෙනත් අපරාධයක් ද යන්න සොයා බැලීම සඳහා මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Trending

Exit mobile version