පුවත්

වෙසක් උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන්න ජනපති එකඟ වෙලා!

Published

on

බෞද්ධ ප්‍රබෝධයක් ඇති වන අන්දමින් 2023 වෙසක් උත්සවය රාජ්‍ය මැදිහත්වීමෙන් පවත්වන ලෙස මල්වතු අස්ගිරි කාරක සංඝ සභාවන්හි ස්වාමීන් වහන්සේලා කළ ඇරයුම ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගෙන තිබේ.

ඒ වික්‍රමසිංහ මහතා අද (19) මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාවන්හි ස්වාමීන්වහන්සේලා සමඟ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවක් අතරතුරදීය.

එසේම, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ස්වාමින් වහන්සේලාට විනය ක්‍රියාත්මක කිරීමේ දී ආයතනික විනයට අමතරව අදාල නිකාය විනයටද අවනත වන පරිදි සිදුකිරීමට අවශ්‍ය නීති වෙනස් කරන බවද ජනාධිපතිවරයා දන්වා තිබේ.

පාලි හා බෞද්ධ විශ්විද්‍යාලයට නිසි බලධාරියෙක් පත් කිරීමට කාරක සංඝසභාව කළ යෝජනාවට එකඟවී ඇති ජනාධිපතිවරයා එය ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන කේන්ද්‍රය බවට පත්කිරීමට කඩිනමින් පියවර ගන්නා බවද අවධාරණය කර ඇත.

පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍ය බවට මල්වතු අස්ගිරි කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේලා කළ යෝජනාව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවද ජනපතිවරයා අවධාරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Trending

Exit mobile version