පුවත්

සක්විති හා බිරිඳ වරද පිළිගනී

Published

on

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් 164,185,000/-ක මුදලක් වංක ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ වරද පිළිගත්තේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධිත චෝදනා පත්‍රය අද කියවනු ලැබීය.

එහිදී විත්තිකරුවන් විසින් අධිකරණයට දන්වා සිටියේ අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බවයි.

අදාළ මුදල් මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික විස්සකින් ගෙවීමටද විත්තිකරුවන් අධිකරණය හමුවේ එකඟ වූ අතර, ඒ අනුව පළමු වාරිකය අද දිනයේ ගෙවන බව විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

2006 ජනවාරි 01 දා – 2008 සැප්තැම්බර් 03දා අතර කාලසීමාව තුළ නුගේගොඩ ප්‍රදේශයේ “සක්විති කන්ස්ට්‍රක්ෂන් සමාගම” නමින් ආයතනයක් පවත්වාගෙන ගොස් එහි තැන්පතු වශයෙන් ආයෝජනය කර තිබූ 164,185,000/-ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ගොනු කර තිබුණි.

Trending

Exit mobile version