පුවත්

සතුන් බොන වතුරට වහ දමා, සිදුකරන මස් ජාවාරම් වටලන්න පියවර

Published

on

නියං කාලයේ දී බීමට ජලය සොයා ගෙන පැමිණෙන වන සතුන්ට වස මිශ්‍ර ජලය ලබා දී මරා දමා එම සතුන්ගේ මස් අලෙවි කිරීමේ ජාවාරමක් සිදු වෙමින් පවතින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

නියගය නිසා සිඳී ගිය වැව් සහ දිය කඩිති ආශ්‍රිතව දිය වළවල් සාදා හෝ පොලිතින් මළුවල ජලය පුරවා එම ජලයට වස මිශ්‍ර කර වන සතුන් දඩයම් කරන බවට තොරතුරු ලැබී ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියි.

විශේෂයෙන් කතරගමට පැමිණෙන වන්දනාකරුවන් සහ පිට ප්‍රදේශවලට මස් ප්‍රවාහනය කිරීම සදහා මෙලෙස සතුන් ඝාතනය කරන බව අනාවරණය වී ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

මෙලෙස විෂ සහිත ජලය පානය කර මියගිය සතුන්ගේ මස් මිනිස් පරිභෝජනයට අහිතකර වන අතර එසේ වන සතුන් දඩයම් කරනු ලබන පුද්ගලයින්ට වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කරන බවත් නියං කාලය තුල වනජීවි වැටලීම් වැඩි කිරීමට ද කටයුතු කර තිබෙන බවත් වනජීවී දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත.

මෙලෙස වන සතුන් දඩයම් කරනු ලබන පිරිස් පිළිබදව තොරතුරු වෙතොත් 1992 හදිසි ඇමතුම් අංකයට හෝ ළඟම ඇති වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දෙන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Trending

Exit mobile version