පුවත්

සුධර්මාගේ මෙහෙකාරිය අත්අඩංගුවට පත්ව ඇත්තේ පැමිණිල්ලක් දාන්නත් කලින්!

Published

on

කොළඹ සුප්‍රකට සලාකා සෙන්කඩ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ගාමිණී නෙත්තිකුමාර මහතාගේ හිටපු බිරිය වන ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ මෙහෙකාරිය වූ රාජ් කුමාරිගේ මරණය සම්බන්ධයේ  විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (02) නියෝග කළේය.

රාජ් කුමාරි ඉකුත් මස 11 වැනිදා පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී මියගොස් තිබිණි.

අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා  ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් මියගිය කාන්තාව අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ CCTV දර්ශන ලබාදෙන ලෙස වැලිකඩ පොලිසියට දැන්වුවත්, ඉල්ලීම් කළත් ඒවා මෙතෙක් ලබා දී නොමැති බව කියා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම දර්ශන ලබා ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසය.

මියගිය කාන්තාව අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ CCTV දර්ශන හා අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයාගේ ඉල්ලීමට අනුව ජාතික රෝහලේ සටහන් ලබාගෙන විමර්ශන සිදුකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේය.

එම විමර්ශනවල ප්‍රගතිය ලබන 21 වැනිදා වාර්තා කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

සුධර්මා නෙත්තිකුමාරගේ මුද්දක් සොරකම් කළ බවට චෝදනා කර  පසුගිය මස 11 වැනිදා මෙම කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණේ පැමිණිල්ලක් සටහනක් කිරීමකින් තොරව බව ද මූලික විමර්ශනවලින් හෙළි වී තිබිණි.

කාන්තාව මිය ගිය පසු සුධර්මා නෙත්තිකුමාර අදාල පැමිණිල්ල සටහන් කර ඇති බව විමර්ශන අංශ කීවේය. එමෙනම් මෙම මෙහෙකාර කාන්තාවට පොලිස් අත්අඩංගුවේ දී දැඩි ලෙස පහර දී ඇති බවත් ඊට කාන්තා නිලධාරීන්ද එක් වී ඇති බවත් හෙළි වී ඇත.

සබැදි පුවත්:

සුධර්මාගේ මෙහෙකාරියගේ මරණයට පොලිසියේ 4ක් ගෙදර 

සුධර්මාගේ මෙහෙකාරිය පොලිසියේදී මියයාම ගැන පරීක්ෂණයක්! 

සුධර්මාගේ ගෙදර සොරකමේ සැකකාර මෙහෙකාරිය පොලිසිය තුළ රෝගී වී මරුට 

Trending

Exit mobile version