පුවත්

119ට ‌බොරු ඇමතුම් 12ක් දුන් අයෙක් උසාවියේදී වරද පිළිගනියි

Published

on

පොලිස් මූලස්ථානයේ, “119” හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට ව්‍යාජ දුරකථන ඇමතුම් 12ක් ලබා දී, තිරප්පනේ පොලිසිය නොමග යැවීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවකු විවෘත අධිකරණයේදී එකී චෝදනාවට වරද පිළිගත්තේය.

ඒ මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත් නදී ආකාස් කුරේරා මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

තමන්ට එරෙහිව පවතින මෙම චෝදනාවට සැකකරු වරද පිළිගැනීමෙන් අනතුරුව සැකකරුට දඬුවම් නියම කිරීම ලබන මාර්තු මස 26 වැනි දිනට කල්තැබූ වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය එදිනට සැකකරු අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය හමුවට පැමිණවීමට නියෝග කෙරිණ.

මෙසේ අධිකරණය හමුවේ වරද පිළිගනු ලැබුවේ තිරප්පනේ, පෑතිස්රඹෑව පදිංචිකරුවකු වන ප්‍රේමරත්නගේ සුසිල් ප්‍රේමරත්න නමැත්තෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් තිරප්පනේ පොලිසියේ සැරයන් එදිරිසිංහ සඳහන් කළේ, තිරප්පනේ පොලිස් වසමේ අපරාධමය සිද්ධියක් සිදුවන බව දන්වමින් ඉකුත් දෙසැම්බර් මස 18 වැනි දින පොලිස් මූලස්ථානයේ, 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට මෙම සැකකරු දුරකථන ඇමතුම් 12ක් පමණ ලබා දී ඇති බවය. 

ඒ අනුව අදාළ හදිසි දුරකථන ඇමතුම් මගින් සැකකරු ලබා දුන් තොරතුරු පොලිස් මූලස්ථානයේ 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානය මගින් තිරප්පනේ පොලිසියට නොපමාව දන්වා ඇති බවද අධිකරණයට ප්‍රකාශ කළ සැරයන්වරයා, පසුව අදාළ අපරාධය සිදුවන බව පැවසූ ස්ථානයට තිරප්පනේ පොලිස් නිලධාරීන් පිටත්ව ගිය බව කීවේය.

සැකකරු විසින් දැනුම් දී ඇති පරිදි කිසිදු අපරාධමය කටයුත්තක් අදාළ ප්‍රදේශයේ හෝ තිරප්පනේ පොලිස් වසමේ සිදුව නැති බවත්, එවැනි අපරාධයක් සිදුවීමේ සූදානමක්ද නැති බව එහිදී අනාවරණය වූ බවත්, අධිකරණයට සැල කළ සැරයන්වරයා පසුව සිදු කළ විමර්ශනයකදී හෙළිවූයේ සැකකරු විසින්, 119 පොලිස් හදිසි ඇමතුම් සන්නිවේදන මධ්‍යස්ථානයට ලබා දී ඇති සියලු ඇමතුම් අසත්‍ය ඒවා බවයි.

රාජ්‍ය නිලධාරියකුට අසත්‍ය තොරතුරු සැපයීමේ චෝදනාව මත ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 190වන වගන්තිය ප්‍රකාරව තිරප්පනය පොලිසිය සැකකරුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කළේය.

Trending

Exit mobile version