Connect with us

පුවත්

ඉන්දියාවට එදා තෙල් ටැංකි දුන්නානම් අද තෙල් තියෙනවා – ජනපති

Published

on

ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කර ගත්තක් නොව, ඊළග පරම්පරාව වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට අනුකූලව වරාය සංවර්ධනයේ දි සහ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ දී ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම (Surbana Jurong plan) පිළිබඳ ඊයේ (14) ත්‍රිකුණාමල ඔර්ස් හිල් (Orr’s Hill) එළිමහන් භූමියේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.

ඉන්දියාවට තෙල් ටැංකි ලබාදීමේ දී මතු වු විරෝධතා පිළිබඳව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සදහන් කළේ, එදා එම තෙල් ටැංකි ලබාදීමට ගත් තීරණය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දුන්නේ නම් රට ඉන්ධන අර්බුදයකට මුහුණ නොදෙන බවයි.

මෙම සාකච්ඡාව ආරම්භ වීමට ප්‍රථම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔර්ස් හිල් (Orr’s Hill) එළිමහන් භූමියේ සිට ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම යටතේ සංවර්ධනය කිරීමට යෝජිත ස්ථාන කිහිපයක් ද නිරීක්ෂණය කළේය.

එමෙන්ම සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා ත්‍රිකුණාමලය ගාන්ධි වටරවුම ආසන්නයේ පිහිටි වෙරළ තීරය සංචාරක ආකර්ශණය දිනාගත හැකි ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිත ව්‍යාපෘති භූමිය නිරීක්ෂණය කිරීමට ද එක් විය.

මේ අතර ජනපතිවරයා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදින් කණ්ඩායමක් ද හමුවිය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

අපි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ඊළග ඡන්දයට නොවේ, ඊළග පරම්පරාව වෙනුවෙන්. 2023 අපි 75 වන නිදහස් දින සංවත්සරය සමරනවා. තව අවුරුදු 25යි තිබෙන්නේ නිදහස ලබා වසර 100ක් සම්පූර්ණ වෙන්න. ඊට කලින් මේ වැඩකටයුතු කළ යුතුයි.

ඒ නිසා 2018-2050 සැලසුම් අපි 2020-2048 ලෙස අඩු කර ගමු. මේ නැගෙනහිර පළාතේ විශාල දියුණුවක් අපි ඒ කාලය තුළ ඇති කරන්න ඕන. මම කියන්නේ නැහැ ඊළග වසර 05 එය කළ හැකියි කියලා. අපි කියන්නේ එය ආරම්භ කළ යුතුයි කියලා. එතැනින් ඉදිරියට යා යුතුයි.

පොළොන්නරුව අගනුවරව පැවති කාලයේ ත්‍රිකුණාමල වරාය විශාල වරායක් ලෙස පැවතුණා. එදා අපිට ත්‍රිකුණාමලය වටේ පෙන්නුවා බෙංගාල බොක්ක සිතියම. බෙංගාල බොක්ක කලාපය තවම දියුණු වෙලා නැහැ. තව අවුරුදු 10-15 යයි එම දියුණුව ලබන්න. තායිලන්තයේ තිබෙන දියුණුව දැන් බටහිරට එන්න තිබෙනවා. මියන්මාරයේ තවම එය ආරම්භ වෙලා නැහැ, බංගලාදේශයේ ආරම්භ වුණා විතරයි. ජාවා සුමාත්‍රාවල ඒ වැඩකටයුතු කරගෙන යනවා. ඊළග අවුරුදු 10-15 යනකොට තමයි ඒක වරායක් හැටියට වැදගත් වන්නේ. අපේ උත්සාහය ශ්‍රී ලංකාව වරාය කේන්ද්‍රයක් බවට පත් කිරීමයි.

ත්‍රිකුණාමල වරාය ගැඹුරු වරායක් බවට පත් කළයුතුයි. නැගෙනහිර පළාත නාවික කටයුතු සඳහා වැදගත් කාර්යභාරයක් සිදු කරනවා.

ත්‍රිකුණාමල වරාය ප්‍රමුඛ ක්‍රමෝපායික වරායක් බවට පත් කිරීමට අවශ්‍යයි. ඒ කියන්නේ අපේම නාවික යාත්‍රා මෙහෙයුම් කටයුතු සිදු කළ හැකි අයුරින් එය සංවර්ධනය කිරීමයි. ඒ වෙනකොට දැනට තිබෙනවාට වඩා නාවික යාත්‍රා අපේ නාවික හමුදාවට තියෙයි කියලා මම හිතනවා. අපි මේ කටයුතු සැළසුම් කරන විට ඉන්දියාව සමග එකට වැඩ කළයුතුයි. මන්ද ඉන්දියාව අපිට වඩාත් සමීපව පිහිටා තිබීම නිසා එය ඉතා වැදගත් වෙනවා.

දැනට ඉන්දියාව සමග වැඩසටහන් කිහිපයක් ගැන සාකච්ඡා කරමින් සිටිනවා. ඒ නිසා අපට තිබෙන්නේ මේ සාම්පූර් බලාගාරයේ වැඩකටයුතු ඉදිරියට කරන්න. මෙයට බාධා එල්ල වෙනව නම් කෙළින්ම ආණ්ඩුව යටතට අරගෙන ඒ වැඩකටයුතු කරන්න සිදු වෙයි.

ත්‍රිකුණාමල වරාය ගිවිසුමට අපි 2003 අත්සන් කළා. 2003 සිට තෙල් ටැංකි ලබාදීම ගැන වෘත්තීය සමිතිවල විශාල විරුද්ධත්වයක් තිබුණා. අපි එදා තෙල් ටැංකි ලබා දුන්නා නම් අද තෙලුත් තිබෙනවා, අපිට පෝළිංවල ඉන්න වෙන්නෙත් නැහැ, කෝළහාල කරන්න වෙන්නෙත් නැහැ. තෙල් නැති නිසයි මේ ප්‍රශ්න ඇති වුණේ. ඇයි තෙල් නැති වුණේ, රටේ ආර්ථිකය වැටුණත් තෙල් ටැංකිවල තෙල් තිබෙන්න තිබුණා. ඒත් තෙල් ටැංකි හිස්. ඒ නිසා අපේ වාහනවල තෙල් ටැංකිත් හිස්, අපි එදා මේක කළා නම් අද අපිට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

එවැනි බාධකවලට නැවත ඉඩ දෙන්න බැහැ. මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් එය කළයුතුයි. මම මේ සැලැස්ම පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරනවා, පාර්ලිමේන්තුව එකඟ වුණාට පස්සේ එය නීතිගත කරනවා. මොකද ආණ්ඩු මාරු වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු මාරු වෙන්න පුළුවන්. ඒත් ප්‍රතිපත්ති මාරු වෙන්න බැහැ. මේ නිසා බාධක නැතිව අපි ඉදිරියට යන්නයි කටයුතු කළ යුත්තේ.

අපි ඉන්දියාව සමග පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව කටයුතු කරමින් සිටිනවා. එය ක්‍රියාත්මක වන්නේ ත්‍රිකුණාමලයේ, ඉන්දියාව සමග තිබෙන සබඳතා පදනම් කරගෙන ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත්කරගත යුතුයි. පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීමත් සමග එයට හරිත හයිට්‍රජන් සහ හරිත ඇමෝනියා වැනි අගය එකතු කිරීම් සිදු කළයුතුයි. ඉතින් අපට හරිත හයිට්‍රජන් අපනයනය කරන්න වරායක් අවශ්‍යයි. එහිදි මෙතන තිබෙන විභවය සැලකිල්ලට ගත යුතුයි.

උතුරු, උතුරු මැද හා නැගෙනහිර පළාත සැලකිල්ලට ගත්විට එහි කේන්ද්‍රීය වරාය විය යුත්තේ ත්‍රිකුණාමල වරාය. සමහරවිට ඉදිරියේ දී සිංගප්පූරුවටත් අපිට මාර්ගයක් හදාගන්න පුළුවන් වෙයි. ඒ තත්ත්වයට දියුණු කිරීමට විශාල ඉඩ ප්‍රස්ථාවක් තිබෙනවා. මේ පළාතේ ආර්ථික විභවය ඉතා විශාලයි. එය ඉලක්ක කරගෙන තමයි අපි මෙය දියුණු කළයුත්තේ.

ආර්ථික වශයෙන් මෙම වරාය නගරය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට සීමා කරන්න බැහැ. මෙය අනුරාධපුර, වව්නියාව, දඹුල්ල නගර සමග සම්බන්ධ විය යුතුයි. වන්නි, නැගෙනහිර, උතුරු මැද තමයි රටේ ආහාර විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ. ආහාර නිෂ්පාදන අපනයනය කරවා නම් මෙතනින් තමයි එය සිදු කළ යුත්තේ.

අද අපි පිටි අපනයනය කරනවා. අපි තිරිගු වවන්නේ නැහැ, ඒ වුණාට අපි අපනයනය කරනවා. එය කරන්නේ ප්‍රිමා ආයතනය. අපේ ප්‍රධාන අපනයන ද්‍රව්‍යයක් තමයි තිරිගු පිටි. අපි එය පිටින් අරගෙන අපනයනය කරනවා. ඒ වගේ වෙනත් ද්‍රව්‍යයත් එලෙස අපනයනය කළ හැකියි. අපි ඒ පිළිබඳ සලකා බලමු.

මේ පළාතේ කර්මාන්ත දියුණු කිරීමට ඉන්දියාව සමග එකඟව තිබෙනවා. ඒ අනුව කර්මාන්ත කලාපයකුත් ඇති කළ යුතුයි. මම යෝජනා කර තිබෙන්නේ ඒ කටයුතු ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධව සිදු කිරීමට. එතකොට වරායටත් ඊට සම්බන්ධයක් තිබෙනවා. ඒ පිළිබඳ ඒකාබද්ධ කණ්ඩායමක් පත් කිරීමට සැලසුම් කරනවා.

ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට පෙර අපි ආර්ථික පැත්ත ගැන සැලකිල්ලට ගත යුතුයි. ආර්ථික පැත්තෙන් බලන විට අපිට තිබෙනවා සංචාරක කර්මාන්තය. විශේෂයෙන් අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල සංස්කෘතික ත්‍රිකෝණය තිබෙනවා. ඒ නිසා පැමි‍‍ණෙන සංචාරකයින් ප්‍රමාණය වැඩි වෙනවා.

ත්‍රිකුණාමල ගුවන් තොටුපොළ තිබුණත් එහි විශාල අහස් යානා ගොඩ බැස්සවිය නොහැකි. ඒ නිසා හිඟුරක්ගොඩ හෝ වව්නියාව ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කරන්න සිදු වෙනවා. ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව දක්වා සංචාරක කර්මාන්තය දියුණු කරන්න ඉඩ ප්‍රස්ථාවක් තිබෙනවා.

නැගෙනහිර පළාත දියුණු කිරීමට අපි සම්පූර්ණ සැලැස්මක් ඇති කළ යුතුයි. එමෙන්ම උතුරු පළාත දියුණු කිරීමට වැඩපිළිවෙළක් තිබෙනවා. උතුරයි, නැගෙනහිරයි මැද තිබෙන්නේ ත්‍රිකුණාමලය. ඒ වගේම උතුරු මැද ගත් විට අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විශාල කොටසක් අයිති වෙන්නේ මේ පළාතට. මෙම ඒකාබද්ධ වැඩසටහන වසර 05 කින් සිදු කළ නොහැකියි. අවුරුදු 20 – 25 කින් කරන්න පුළුවන්. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය නිම කරන්න අවුරුදු 10ක් ගත වුණා. මෙම මූලික වැඩ කටයුතු ගැන සාකච්ඡා කරලා ඒ පිළිබඳ, කැබිනට් මණ්ඩලය දැණුවත් කර ඊට පසුව ඉදිරි කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මීහූ ප්‍රමුඛ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම්, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය, අයෝජන මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීහු ද, ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම නිර්මාණය කිරීමේ උපදේශන දායකත්වය ලබාදුන් සභානා ජුරෝංග් (Surbana Jurong) ආයතනයේ ප්‍රධාන සැලසුම් විධායක කේටන් කුල්කරණි (Ketan Kulkarni) මහතා ද, නැගෙනහිර පළාත ආවරණය කෙරෙන ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසිය ඉහළ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නඩුව විභාග කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

Published

on

By

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන චෝදනා නීතිවිරෝධී බව සඳහන් කරමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වූ සී කොන්සෝටියම් ලංකා සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් ගොනුකළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම අභියාචනා පෙත්සම ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි. 

එහිදී පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ඇතුළු නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණේ මෙම නඩුවේ කපිතාන්වරයාට සහ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් එක්කොට චෝදනා ඉදිරිපත් කිරීම නීතියට පටහැනි බවය.

ඉන් අනතුරුව අභියාචනා පෙත්සම් විභාගය පෙබරවාරි මස 17 වනදා තෙක් කල් තැබුණි.

(අදදෙරණ)

Continue Reading

පුවත්

ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණය කරනවා මිස විකුණන්නෑ – ඇමති

Published

on

By

ශ්‍රී ලංකන්  ගුවන් සමාගම කිසි සේත්ම විකිණීමට කටයුතු නොකරන බවත් සිදු කරන්නේ ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් බවත්  වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යනිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.  

නීතිය අනුව පවා වෙනත් සමාගමකට ලබා දිය හැක්කේ ශ්‍රී ලංකන්  ගුවන් සමාගමේ කොටස්වලින් 49% ක් පමණක් බවත් කෙසේ නමුත් මේ දක්වා ඊට සුදුසු ආයෝජකයකු ඉදිරිපත් වී නොමැති බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.  

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා මෙසේද පැවසීය.

මේ රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය ණය ප්‍රතිව්‍යුගතකරණයේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරනු ලැබුවා. දේශපාලන හේතූන් මත විපක්ෂය එය අසුබවාදී යැයි පැවසුවත් රට ගැන හිතනවා නම් ඒ හරහා  ඉතා සුබදායී පණිවිඩයක් ලැබුණු බව කිව යුතුයි.

ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ යෙදෙන්නේ නීති, රෙගුලාසි හා නිර්ණායක මත පදනම්ව මිස කාගේවත් මුහුණු බලා ගෙන නොවෙයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන පරිදි ආජන්ටිනාව, ඉක්වදෝරය සහ ඝානාවේ 25%ක ණය කපා හැර තිබෙන්නේ ද්වීපාර්ශ්වික ණය සඳහා නොවෙයි. ඒ වාණිජ ණය ( Commercial Loans) සඳහායි. මෙරට වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සාකච්ඡා තවමත් සිදු කරමින් පවතිනවා. ඔහු නොදැනුවත්කම හේතුවෙන් මේ කියන්නේ තවමත් තීරණයක් ලැබී නැති සාකච්ඡා මට්ටමේ පවතින කරුණක් ගැනයි. ඒ ඒ රටවල ආර්ථික ශක්තිය තක්සේරු කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන උපදෙස් අනුව මෙම නිර්ණායක වෙනස් වෙනවා. මෙවැනි ජාත්‍යන්තරය පිළිගත් තත්ත්වයන් නොවිමසා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම සුදුසු නොවන බවද පැවසිය යුතුයි.

මේ රට පත්වූ ව්‍යවසනයෙන් ගොඩ ගැනීමේ පළවෙනි පියවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන තිබෙනවා. දෙවන පියවර වන්නේ එය ආරක්ෂා කර ගෙන ඉදිරියට ගෙන යාමයි. එසේ නොවන්නට මීට වසර 2කට පෙර රට තිබූ තත්ත්වයට නැවත පත් වීම වැළැක්විය නොහැකියි.

මෙවර අයවැයෙන් පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ රජයේ දෙපාර්තමේන්තු මෙන්ම අස්වැසුම වැනි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සඳහා මුදල් වෙන් කර තිබෙනවා. එම කටයුතු සිදු කරන්නේ මැතිවරණ බලාගෙන නෙවෙයි.

ඒ වගේම මෙහිදී ශ්‍රී ලංකන්  ගුවන් සමාගම ගැනත් සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකන්  ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුගතකරණය කිරීම මිස අප එය විකිණීමට කටයුතු කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ නීතියට අනුවත් වෙනත් සමාගමකට ලබා දිය හැකි වන්නේ  ශ්‍රී ලංකන්  ගුවන් සමාගමේ  කොටස්වලින් 49%ක් පමණයි. නමුත් ඒ සඳහා ලෝකයේ පවතින උනන්දුව අවමයි. ඊට ඉදිරිපත් වූයේ 06 දෙනෙකු පමණයි. ඒ අතරින් සුදුස්සකු අපට හමු වුණේ නැහැ. ශ්‍රී ලාංකික ව්‍යවසායකයකු සඳහා එම අවස්ථාව ලබා දීමට හැකි වුවත් ඊට ඇති හැකියාව සනාථ කළ යුතු වෙනවා.

මීට අමතරව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) ලබන සතියේදී ඔවුන්ගේ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. මෙය ද ණය ප්‍රතිව්‍යුගතකරණයේ තවත් එක් ප්‍රතිලාභයක් බව කිව යුතුයි. ගුවන්තොටුපොල ව්‍යාපෘතිය සඳහා චීන සමාගම් ඉදිරිපත් වී තිබුණත් ජපානය සමඟ ඇති කර ගෙන තිබෙන ගිවිසුම් අනුව එම කොන්ත්‍රාත් ලබා දිය යුත්තේ ජපන් සමාගම්වලටයි.
තවද අතිවිශාල පාඩුවක් ලබන මත්තල ගුවන් තොටුපොල කළමනාකාරීත්වයද  ඉදිරි සති කිහිපය තුළ රුසියානු – ඉන්දියා හවුල් ව්‍යාපාරයකට ලබා දීමට කටයුතු කරනවා. ඩොලර් මිලියන 69ක ඉන්දියානු ආධාර මත කන්කසන්තුරය වරාය සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා. ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර ෆෙරී සේවය ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට කටයුතු කරන බව පසුගියදා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් මහතා මා හමුවේ ප්‍රකාශ කළා.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

තාඹුගලට මරණ තර්ජන ලු

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට එරෙහිව සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන් ව්‍යාපාරික විරංජිත් තාඹුගලට සහ ඔහුගේ පවු‍ලේ සාමාජිකයින්ට මරණීය තර්ජන එල්ලවී තිබෙන බව ඔහුගේ නීතිඥවරුන් අද (03) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

මේ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මේ සම්බන්ධයෙන් ලබන 10 වනදා නියෝගයක් නිකුත් කරන බව ප්‍රකාශ කළාය.

(අද දෙරණ)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved