පුවත්

“2024 පළමු කාර්තුවෙන් පසු ජනතාවගේ ජීවන බර 75%කින් අඩු වෙනවා”

Published

on

2024 පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩු වෙනවා වෙ‍ළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු 

2024 වර්ෂය ධන ආර්ථික වර්ධන වේගයක් සහිතව ආරම්භ කිරීම නිසා මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියයි. 

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් මෙම වසර තුළ නව වැඩපිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් එමඟින් පාරිභෝගික අයිතිවාසිකම් වඩාත් සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

ඉන්දියාව ලූනූ අපනයනය නැවැත්වීම නිසා එහි පීඩනය මෙරටට ද බලපා තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි සති දෙක තුළ ඉන්දියාව සිය ලූණු අපනයන සීමා ලිහිල් කිරීමත් සමග එම ගැටලුව විසදෙන බවත් සඳහන් කර සිටියේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළඳ,ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය. 

“2024 වර්ෂය අප ආරම්භ කරන්නේ ධන ආර්ථික වර්ධන වේගයක් සමගයි. ඒ සමග මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව සඳහන් කළ යුතුයි. පවතින බදු ප්‍රතිපත්තිය නිසා ඉදිරියේදී ජනතාවට තවත් සහන රැසක් ලැබෙන බවට ද අපට සහතික විය හැකියි. ඒ වගේම රාජ්‍ය ආදයම ඉහළ නංවාගැනීම වෙනුවෙන් බදු අයකිරීම වැරදි බව ඇතැමුන් පවසනවා. නමුත් එවැනි ප්‍රකාශ සිදුකරන්නන් රටේ ආර්ථිකය වර්ධනය වනවාට එරෙහි වන්නන් බව පැවසිය යුතුයි.” 

“රටේ අනාගතය වෙනුවෙන් ආයෝජන කරන්නේ රජයට ලැබෙන බදු ආදායමෙන් නම් ඒ සඳහා සහයෝගය දැක්වීම සමස්ත ජනතාවගේම වගකීමක් වනවා.”

” තවද ඇතැමුන් බදුබර වැඩි බව පවසමින් රට හැර යනවා. නමුත් මෙරට බදු අය කිරීම සිදු කෙරෙන්නේ 12% ක මට්ටමකින්. එහෙත් රට හැර යන පිරිස් ආකර්ශනය වී ඇති රටවල බදු ප්‍රතිශතය 38% සිට 43%ක පමණ මට්ටමක ඉහළ අගයක පවතිනවා. එම රටවල්වල් සංවර්ධනය වී තිබෙන්නේ එවැනි බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසයි.”

 “ඉන්දියාව ලූනු අපනයනය නැවැත්වීම නිසා එහි පීඩනය අපේ රටට ද බලපා තිබෙනවා. නමුත් ඉන්දියාව ඊළඟ සති දෙක තුළ ලූනු අපනයන සීමා ලිහිල් කිරීමෙන් පසු එම ගැටළුව විසදෙන බව ද සඳහන් කළ යුතුයි. කෙසේ වෙතත් අපට සිදුව ඇති හානිය වන්නේ, වැට් ඇතුළු බදු සංශෝධන සම්බන්ධයෙන් කිසිදු අධ්‍යයනයක් සිදු නොකොට ඇතැම් පාර්ශ්ව විවිධ ක්‍රම ඔස්සේ අනිසි ප්‍රචාරයක් ලබාදීමයි. මේ තත්ත්වය තුළ අතරමැදියන් සහ ඇතැම් සමාගම් හිතුමතේ මිල ගණන් ඉහළ දමා ජනතාවට පීඩනයක් එල්ල කර තිබෙනවා.”

Trending

Exit mobile version