පුවත්

දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ජනපතිගෙන් යෝජනාවක්

Published

on

සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මුලික හේතුව වන අතර එහි ප්‍රතිවිපාක සංවර්ධනය වෙමින් පවතින රටවලට විඳීමට සිදුව ඇති බව COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

COP 27 දේශගුණික විපර්යාස සමුළුව ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි (Abdel Fattah El-Sisi) සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටරේස් (António Guterres) යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊජිප්තුවේ ෂර්ම් එල්-ෂෙයික් හි දී අද (08) පැවැත්විණි.

සමුළුව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ගැටලු උග්‍ර වී ඇති බවත් ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා කරන අතරම ආර්ථික දියුණුව උදාකර ගැනීමේ ද්විත්ව සටනක එම රටවල් නියැලී සිටින බවත්ය.

එබැවින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සිදුවන අලාභය සහ හානිය වෙනුවෙන් වන්දි ගෙවීමට සංවර්ධිත රටවල් ඔවුන්ගේ අරමුදල් දෙගුණ කිරීම මගින් ග්ලාස්ගෝහිදී ඔවුන්ගේ ප්‍රතිඥාව ඉටු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ අනුව, දේශගුණික අවදානම් සංසදය විසින් යෝජනා කර ඇති පරිදි, ඉදිරි ප්‍රතිචාර සඳහා ජාත්‍යන්තර දැනුවත්භාවය ශක්තිමත් කිරීම සඳහා මෙම අංශය පිළිබඳ විශේෂ වාර්තාවක් සකස් කිරීම සුදුසු බව ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට යෝජනා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

“දේශගුණික ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඇති ප්‍රභලතම බාධාව වන්නේ ධාරිතාව නොමැතිකමයි. එබැවින් මේ සම්බන්ධයෙන් ධාරිතා ගොඩනැගීම ඉතා වැදගත් වේ. මෙම බාධාව මඟහරවා ගැනීම සඳහා, මාලදිවයිනේ අනුපූරක ආයතනයක් සමඟ ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට අපි යෝජනා කරමු, එය එම මාදිලියේ පළමුවැන්න වනු ඇත. ජාතික සහ විනය සීමාවන් ඉක්මවා දැනුම  හුවමාරු කර ගැනීමට හරිත සහ නීල අධ්‍යයනය (Green and Blue Studies) , විද්‍යාඥයින්, පරිසරවේදීන්, පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සංවර්ධන වෘත්තිකයන්, සහ ලොව පුරා සිටින සිසුන් සඳහා නිතැතින්ම මෙම  ඉගෙනුම් පීඨය ගෝලීය මධ්‍යස්ථානයක් විය හැකියි. යෝජිත දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය මඟින්  දේශගුණික විපර්යාස අවම කිරීම සහ ඒවාට අනුවර්තනය වීම පිළිබඳ හැකියාවන් ගොඩනැගීමට කෙටි කාලීන පාඨමාලා සහ පශ්චාත් උපාධි පිරිනමනු ඇත.මෙම විශ්ව විද්‍යාලය මඟින් නව පරපුරේ දේශපාලන, ආර්ථික, සමාජීය, සංස්කෘතික කුසලතා නංවාලනු ඇත. එය දේශගුණික විපර්යාස අභියෝග සහ අපේක්ෂාවන් දේශීය වශයෙන් දැනුවත් කිරීමට මාර්ගය වනු ඇත. බහුපාර්ශ්වික ආයතන සහ පොදුරාජ්‍ය මණ්ඩලීය, ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි සංවිධානවල සහයෝගීතාවය මෙම උසස් අධ්‍යාපන ආයතනය පිහිටුවීම සඳහා ජාතික මට්ටමින් ඔබ්බට ගොස් බහු පාර්ශ්වකරුවන්ගේ හවුල්කාරිත්වය අපේක්ෂා කෙරේ.ශ්‍රී ලංකාවේ මෙම යෝජනාවට ජාත්‍යන්තර ප්‍රජාවෙන් පුළුල් සහයෝගයක් සහ අනුමැතියක් ලැබෙනු ඇති බව මගේ බලාපොරොත්තුවයි,” ඔහු පැවසීය.

Trending

Exit mobile version