Connect with us

ඡායාරූප සටහන

චීනයේ සහයට ගිය ලාංකික නාවිකයින් ට චීන රජයෙන් හරසර (ඡායා)

Published

on

පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවට දකුණින් ගැඹූරු මුහුදේ නාවිකයින් 39 දෙනෙකු සමග අනතුරට පත්වු, චීනයට අයත් ලූපෙන් යුවාන් යු 028 ධීවර යාත්‍රාවේ මුදා ගැනීමේ කටයුතු සඳහා එක්වු නාවික හමුදා සමාජිකයින් වෙත චීන රජයේ උපහාර පිදීමේ උත්සවයක් පෙරේදා (06) කොළඹ දී පැවැත්වුණි. 

මෙම අවස්ථාවට මෙරට චීන තානාපති – චී ජන්හොං, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මෙරට සිටින ඉන්දුනීසියානු තානාපතිනි – ඩිවි ගුස්ටිනා ටෝබිං, මෙරට සිටින ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් – පෝල් ස්ටීවන්ස්, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය – ආචාර්ය බන්දුල ගුණවර්ධන, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය – ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය – තාරක බාලසූරිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී – ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති – ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති – වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ අණදෙන නිලධාරී සහ කාර්ය මණ්ඩලය, රාජ්‍යතාන්ත්‍රිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්විය.

නාවික හමුදාව විසින් සැකසූ, මෙම මෙහෙයුමේ දසුන් ඇතුළත් වීඩියෝවක්ද මෙම උත්සවයේදී ප්‍රදර්ශනය වූ අතර, අනතුරෙන් මියගිය පුද්ගලයන් සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්ද පවත්වුණු ලැබුණි.

ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ කිමිදුම් කණ්ඩායමේ ලුතිනන් කමාන්ඩර් එස්.ඒ.අයි.ඒ. සුභසිංහ ඇතුළු නාවික පුද්ගලයන් නව දෙනා හට මෙහිදී පුෂ්පෝහාර ද පුදනු ලැබුණි.

නාවිකයින් 39 දෙනෙකු රැගත් චීනය අයත් Lupeng Yuanyu 028 ධීවර යාත්‍රාව මැයි 16දා ශ්‍රී ලංකාවට දකුණින් ගැඹූරු මුහුදේ ගිලී ගිය අතර විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුමට චීනයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව ද එක්වුණි.

මේ සඳහා එම යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ළඟාවූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ කිමිදුම් කණ්ඩායම, ආපදාවට පත් ධීවර යාත්‍රාවේ ඇතුලත තවදුරටත් සිරවී සිටිය හැකි බවට සැකකෙරෙන කාර්යය මණ්ඩලය මුදවා ගැනීම සඳහා කිමිදුම් මෙහෙයුමක් සිදු කරන ලදි. එම මුහුදු ප්‍රදේශයේ පැවති රළු ස්වභාවය මධ්‍යයේ දින 03ක් පුරා ඉතා අසීරු කිමිදුම් මෙහෙයුමක් සිදුකරමින් ධීවර යාත්‍රාවේ නවාතැන් මැදිරි ප්‍රදේශයෙන් මළ සිරුරු 02ක් සොයා ගැනීමටත්, අනෙකුත් මැදිරි තුළ නරක් වූ මළසිරුරු 12ක් හඳුනා ගැනීමටත් නාවික හමුදා කිමිදුම් කණ්ඩායම සමත් විය. එම අසීරු කිමිදුම් මෙහෙයුම අවසන් කර පැය 24 ක් ඇතුළත ආපදාවට පත් චීන ධිවර යාත්‍රාව සම්පූර්ණයෙන් ගැඹුරු මුහුදේ ගීලී ගොස් ඇති අතර, එවැනි ඉතාමත් අවධානම් සහගත තත්වයක් යටතේ ජීවිත අවදානමද නොතකා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකල සුවිශේෂි කිමිදුම් මෙහෙයුම ජාත්‍යන්තරයේ විශේෂ පැසසුමට ලක්විය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං මහතා පවසා සිටියේ ජීවිත අවදානම නොතකා මුලින්ම නැවට ඇතුල්වූයේ ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන් බවත්, මෙම විශේෂ මිතුදම චීන වැසියන් මෙන්ම විපතට පත් යාත්‍රාවේ සිටියවුන්ගේ පවුල් වල සාමාජිකයන් හට සැමදා මතකයේ රැඳෙනු ඇති බවයි.

එම අවස්ථාවේදී පූර්ණ සහාය ලබා දීමට ගත් තීරණාත්මක හා කාලෝචිත තීරණය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට හා සියලු ආරක්ෂක නිලධාරීන් හට ස්තූතිය පුද කළ තානාපතිවරයා, මෙම මුදාගැනීමේ මෙහෙයුමට නන් අයුරින් සහය දැක්වූ සියළු රටවල් මෙහිදී කෘතඥපූර්වකව මතක් කළ සිටියේය.

උත්සවය ඇමතූ නාවික හමුදාපති – වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා පවසා සිටියේ ලංකාවෙන් මෙතරම් දුර මුදවාගැනීමේ මෙහෙයුමකට නාවික හමුදාව සහභාගී වූයේ පළමු වරට බවයි. අනතුරට පත් නෞකාව චීන නෞකාවක් බවත්, එය අනතුරට පත් වූයේ ඕස්ට්‍රේලියානු මුදවාගැනීමේ කලාපයේ බවත්, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව ඇමෙරිකාවෙන් ලබාදුන් නෞකාවක් බවත්, මෙහෙයුමට සහභාගී වූ කිමිදුම්කරුවන්ගෙන් 95%ක් ඉන්දියාවේ පුහුණුව ලැබූවන් බවත් පෙන්වා දුන් නාවික හමුදාපතිවරයා, මෙය සැබවින්ම ‘ජාත්‍යන්තර උත්සහයක්’ බව පැවසීය.

වචන ස්වල්පයක් එක් කරමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ සියල්ලන්ගේම නිර්භීතකම අගය කළ අතර, විජයබාහු නෞකාවේ සියලු නාවිකයන්ට මෙම අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය චීන තානාපති කාර්යාලයට පුද කළේය.

මෙමගින් තවදුරටත් චීන – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, ඉදිරියේදීද ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ කටයුතු වලදී තවදුරටත් චීනයේ සහය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

ඡායාරූප සටහන

ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනපති අතින් විවෘත කෙරේ

Published

on

By

මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද (17) පෙරවරුවේ විවෘත කෙරිණි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාවට පවරා දීමෙන් පසු, එහි පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකම් සුරක්ෂිත කර ගනිමින් මෙම කෞතුකාගාරය නිර්මාණය කර තිබේ.

ඇහැලේපොළ වලව්ව අයත් කන්ද උඩරට රාජධානියේ ගෘහ නිර්මාණ ශිල්පය, චාරිත්‍රවාරිත්‍ර සහ කලා ශිල්ප ආදිය ඉටි ආශ්‍රයෙන් මෙහි ප්‍රතිනිර්මාණය කර තිබෙන අතර, පාරම්පරික කර්මාන්ත පිළිබඳ  ප්‍රදර්ශන කුටි මෙන්ම ඉපැරණි  භෝජනාගාරයක්ද ස්ථාපිත කර තිබේ.

එමෙන්ම, වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමි, වාරියපොල ශ්‍රී සුමංගල හිමි,  පළමු වන විමලධර්මසූරිය රජු, කුසුමාසන දේවිය, මොණරවිල කැප්පෙටිපොළ දිසාව, දේවේන්ද්‍ර මුලාචාරිතුමා, රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා,  ඇහැලේපොළ මහාධිකාරම්, කුමාරිහාමි, දරු දෙදෙනා ඇතුළු  ඉතිහාසයේ සුවිශේෂි චරිත 35කට අදාළ ජීවමාන ඉටි රූප මෙහි ප්‍රතිනිර්මාණය කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රෞඪත්වය සහ අභිමානය විදහා දැක්වෙන අයුරින් නිම කර ඇති මෙම කෞතුකාගාරය මහනුවරට පැමිණෙන දෙස්විදෙස් සංචාරකයන්ගේ මහත් ආකර්ෂණයට ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම, වර්තමාන පරපුරට උඩරට රාජධානිය සහ ඒ සමඟ බැඳුණු ඉතිහාසය නිවැරදිව අධ්‍යයනය කළ හැකි මධ්‍යස්ථානයක් බවටද මෙම කෞතුකාගාරය පත් වනු ඇත.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි අතුල හේරත් මහතා මෙහි නිර්මාණ ශිල්පියා වන අතර  ශ්‍රී දළදා මළිගාවේ ඇහැලේපොල වලව්ව කෞතුකාගාර විශේෂ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වූ මෙම කටයුත්ත සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300කි.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම යන ස්වාමීන් වහන්සේලා සහ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී යන ස්වාමින් වහන්සේලා ඇතුළු ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයීය ලේඛකාධිකාරී සහ කාරක සංඝ සභික මහා සංඝරත්නයද, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුද, විවිධ ක්ෂේත්‍රයන්හි විද්වතුන් ඇතුළු ආරාධිතයෝ පිරිසක්ද  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

පොලීසියට රූපලාවන්‍යාගාරයක් (ඡායා)

Published

on

By

පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ ‘රූ සිරි’ නමින් නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කර තිබේ.

මෙය පොලිස් සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් වැඩිදියුණු කරන ලද අතර, ඊයේ (15) දින පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

පොලිස් නිලධාරීන් පමණක් මෙතෙක් කාලයක් සහනදායි මුදලකට මෙහිදී සේවාව ලබාගැනීම සඳහා උදාකර තිබුණද මින් ඉදිරියට පොලිස් නිලධාරිනියන්ට, පොලිස් පවුල්වල සාමාජිකයින්ට හා ඒ වෙත පැමිණෙන භාහිර පාර්ශවයන් වෙතද සහනදායි මිලකට සියලුම රූපලාවන්‍ය කටයුතු සිදුකර ගත හැකිය.

මෙහි සේවය කිරීම සඳහා පොලිස් නිලධාරීන්ගේ පවුල්වල විෂයෙහි ප්‍රවීණ සාමාජිකයින්ට අවස්ථාව හිමිකර දීම මෙහි විශේෂත්වයකි.

පොලිස් සේවා වනිතා ඒකකයේ වැඩබලන සභාපතිනි නිල්මිණී සමරතුංග මහත්මිය, එම සංගමයේ සාමාජිකා සංදීපා සෙව්මිණි මහත්මිය හා පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ අණදෙන නිලධාරී කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අදහස් හා අධීකරණය යටතේ මෙම රූපලාවන්‍යාගාරය සාර්ථකව වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය.

(ඡායා : ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙනි)

Continue Reading

ඡායාරූප සටහන

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ශුද්ධ වූ පූජකවරයේ ස්වර්ණ ජයන්ති උපහාර උලෙළ (ඡායා)

Published

on

By

පිරිහී ගිය සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය සහ අධ්‍යාත්මික ගුණය කැටුව ඒමේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ චරිතය පරමාදර්ශයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් කොළඹ අගරදගුරු පදවිය විසින් ඊයේ (07) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ සංවිධානය කරන ලද උපහාර උත්සවය අමතමිනි.

සමාජයේ යහපැවැත්ම සහ අධ්‍යාත්මය ගොඩනැඟීමට වෙහෙසකර ව්‍යායාමයක නිරත වන උන්වහන්සේ, විශාල මෙහෙයක් ඉටු කරන රාජ්‍යතාන්ත්‍රිකයකු, බයිබලය ඉතා හොඳින් විවරණය කරමින් කරුණු ඉදිරිපත් කළ හැකි ධර්ම ගවේෂකයකු, සමාජය අවදි කළ හැකි ශක්තිමත් පෞරුෂයක් හිමි කථිකයකු වන අතරම, එම භූමිකාවලින්ද ඔබ්බට ගිය සැබෑ මානව හිතවාදියකුද වන  බව ජනාධිපතිවරයා පැවසීය.

කාලයේ වැලිතලාවෙන් යටපත්වීමට ඉඩ නොතබා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. එය රජය, රජයේ ඇතුළාන්තයෙන් පරීක්ෂණයට භාජනය විය යුතු අභියෝගයක් බව පැවසු ජනාධිපතිවරයා කෙතරම් දුෂ්කර වුවද මේ සම්බන්ධයෙන් සාධාරණය ඉටුවිය යුතු බවද අවධාරණය කළේය.

මෙහිදී, සභාව අමතමින් සිය 50 වසරක අත්දැකීම් සිහිපත් කළ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ වසර 75ක ඒකාධිපති වියරුව අවසන් කිරීමට ජනපතිවරයා සමත් වීම පිළිබඳව ඇගැයීමට ලක් කළහ. එසේම, මෙරට විවිධ ජාතීන් අතර වෛරය වැපිරූ දේශපාලන සංස්කෘතිය මුලිනුපුටා දැමීමට හැකිවීම පිළිබඳ ප්‍රසාදය පළ කළ උන්වහන්සේ සමෘද්ධිමත් දේශයක් කරා රට මෙහෙය වීමේදී නව ප්‍රවේශයක අවශ්‍යතාවද අවධාරණය කළහ.  

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් එළිදැක්වුණු සමරු මුද්දරය සහ මුල්දින කවරයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

1947 වර්ෂයේ කුරුණෑගල පොල්ගහවෙල ප්‍රදේශයේදී උපත ලද මැල්කම් රංජිත් හිමිපාණෝ, වර්ෂ 1975 ජූනි 29 වන දින ශුද්ධ වූ සය වන පාවුළු පාප් වහන්සේගේ සුරතින් වතිකානුවේ සාන්ත පීතර බැසිලිකාවේදී පූජක වරම් ලබා ගත්හ. අනතුරුව, වර්ෂ 1978 සිට මීසම් සහායක පියතුමකු, වැඩබලන මීසම් සේවක පියතුමකු, දේව ධර්මය පිළිබඳ කථිකාචාර්යවරයකු මෙන්ම, දේව ධර්ම නිකේතන මහාචාර්යවරයකු ලෙස කටයුතු කර ඇති උන් වහන්සේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ, ස්පාඤ්ඤ සහ ඉන්දුනිසීයානු බස ආදී භාෂා රැසක ප්‍රවීණතාව ලබා සිටිති.

1991 වර්ෂයේදී එවකට අගරදගුරුවරයා වූ අතිඋතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන්ගේ මූලිකත්වයෙන් තේවත්තේ ලංකා අප ස්වාමිදුවගේ බැසිලිකාවේදී කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරුවරයකු ලෙස එතුමාගේ පදවි ප්‍රාප්ත වීම සිදු විය.

අනතුරුව, වර්ෂ 2009 ජූනි මස 16 වන දින කොළඹ පදවියේ අගරදගුරුවරයා ලෙස පත් වූ මැල්කම් රංජිත් හිමිපාණෝ, එයින් වසරකට පසු, වර්ෂ 2010 නොවැම්බර් 20 දින ඉතාලියේ සාන්ත ලෝරන්ස් බැසිලිකාවේදී කාදිනල්වරයෙකු ලෙස පත්වීම් ලදහ. ඒ අනුව, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ශ්‍රී ලංකාවේ කාදිනල් තනතුර දැරීමේ ආශීර්වාදය ලත් දෙවන පියතුමා වෙති. උන් වහන්සේ ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර තලයේද තනතුරු රැසක් හෙබ වූ අතර, ජාත්‍යන්තර රැස්වීම් රැසක සභාපති ධුරයද දැරූහ.

ජාත්‍යන්තර සම්මාන රැසකින්ද පිදුම් ලද එතුමාණෝ, ඇමරිකා එක්සත් ජනපදයේ තෝමස් ඇක්වයිනාස් විද්‍යාලයෙන් ආගමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ තෝමස් ඇක්වයිනාස් පදක්කමද, 2008 වසරේ සංස්කෘතික ක්ෂේත්‍රයේ ජයග්‍රහණ සඳහා ඉතාලි ජනරජයේ ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද, 7 වන  Giuseppe Sciacca ජාත්‍යන්තර සම්මානයද ලබා ගත්හ. ලේඛකයකුද වන එතුමා සඟරා සහ පුවත්පත් සඳහාද ලිපි ගණනාවක් සම්පාදනය කර තිබේ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේ සහ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ මෙහිදී සුබපැතුම් එක් කළහ.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය, සර්වාගමික පූජකවරුන්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා, වතිකාන අපෝස්තලික මෙහෙයුම් ප්‍රධානී මොන්සිග්නෝර් රොබර්ටෝ ලුකිනි, කොළඹ සහායක රදගුරු මැක්ස්වෙල් සිල්වා, කොළඹ සහායක රදගුරු ඇන්තනී ජයකොඩි යන රදගුරුතුමන් ඇතුළු කතෝලික පියතුමන්ලා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මැතිඇමතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, තානාපතිවරුන් ඇතුළු ආරාධිතයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved