පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවට දකුණින් ගැඹූරු මුහුදේ නාවිකයින් 39 දෙනෙකු සමග අනතුරට පත්වු, චීනයට අයත් ලූපෙන් යුවාන් යු 028 ධීවර යාත්‍රාවේ මුදා ගැනීමේ කටයුතු සඳහා එක්වු නාවික හමුදා සමාජිකයින් වෙත චීන රජයේ උපහාර පිදීමේ උත්සවයක් පෙරේදා (06) කොළඹ දී පැවැත්වුණි.
මෙම අවස්ථාවට මෙරට චීන තානාපති – චී ජන්හොං, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මෙරට සිටින ඉන්දුනීසියානු තානාපතිනි – ඩිවි ගුස්ටිනා ටෝබිං, මෙරට සිටින ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් – පෝල් ස්ටීවන්ස්, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය – ආචාර්ය බන්දුල ගුණවර්ධන, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය – ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය – තාරක බාලසූරිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී – ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති – ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති – වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ අණදෙන නිලධාරී සහ කාර්ය මණ්ඩලය, රාජ්‍යතාන්ත්‍රිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්විය.
නාවික හමුදාව විසින් සැකසූ, මෙම මෙහෙයුමේ දසුන් ඇතුළත් වීඩියෝවක්ද මෙම උත්සවයේදී ප්‍රදර්ශනය වූ අතර, අනතුරෙන් මියගිය පුද්ගලයන් සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්ද පවත්වුණු ලැබුණි.
ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ කිමිදුම් කණ්ඩායමේ ලුතිනන් කමාන්ඩර් එස්.ඒ.අයි.ඒ. සුභසිංහ ඇතුළු නාවික පුද්ගලයන් නව දෙනා හට මෙහිදී පුෂ්පෝහාර ද පුදනු ලැබුණි.
නාවිකයින් 39 දෙනෙකු රැගත් චීනය අයත් Lupeng Yuanyu 028 ධීවර යාත්‍රාව මැයි 16දා ශ්‍රී ලංකාවට දකුණින් ගැඹූරු මුහුදේ ගිලී ගිය අතර විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුමට චීනයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව ද එක්වුණි.
මේ සඳහා එම යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ළඟාවූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ කිමිදුම් කණ්ඩායම, ආපදාවට පත් ධීවර යාත්‍රාවේ ඇතුලත තවදුරටත් සිරවී සිටිය හැකි බවට සැකකෙරෙන කාර්යය මණ්ඩලය මුදවා ගැනීම සඳහා කිමිදුම් මෙහෙයුමක් සිදු කරන ලදි. එම මුහුදු ප්‍රදේශයේ පැවති රළු ස්වභාවය මධ්‍යයේ දින 03ක් පුරා ඉතා අසීරු කිමිදුම් මෙහෙයුමක් සිදුකරමින් ධීවර යාත්‍රාවේ නවාතැන් මැදිරි ප්‍රදේශයෙන් මළ සිරුරු 02ක් සොයා ගැනීමටත්, අනෙකුත් මැදිරි තුළ නරක් වූ මළසිරුරු 12ක් හඳුනා ගැනීමටත් නාවික හමුදා කිමිදුම් කණ්ඩායම සමත් විය. එම අසීරු කිමිදුම් මෙහෙයුම අවසන් කර පැය 24 ක් ඇතුළත ආපදාවට පත් චීන ධිවර යාත්‍රාව සම්පූර්ණයෙන් ගැඹුරු මුහුදේ ගීලී ගොස් ඇති අතර, එවැනි ඉතාමත් අවධානම් සහගත තත්වයක් යටතේ ජීවිත අවදානමද නොතකා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකල සුවිශේෂි කිමිදුම් මෙහෙයුම ජාත්‍යන්තරයේ විශේෂ පැසසුමට ලක්විය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං මහතා පවසා සිටියේ ජීවිත අවදානම නොතකා මුලින්ම නැවට ඇතුල්වූයේ ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන් බවත්, මෙම විශේෂ මිතුදම චීන වැසියන් මෙන්ම විපතට පත් යාත්‍රාවේ සිටියවුන්ගේ පවුල් වල සාමාජිකයන් හට සැමදා මතකයේ රැඳෙනු ඇති බවයි.
එම අවස්ථාවේදී පූර්ණ සහාය ලබා දීමට ගත් තීරණාත්මක හා කාලෝචිත තීරණය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට හා සියලු ආරක්ෂක නිලධාරීන් හට ස්තූතිය පුද කළ තානාපතිවරයා, මෙම මුදාගැනීමේ මෙහෙයුමට නන් අයුරින් සහය දැක්වූ සියළු රටවල් මෙහිදී කෘතඥපූර්වකව මතක් කළ සිටියේය.
උත්සවය ඇමතූ නාවික හමුදාපති – වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා පවසා සිටියේ ලංකාවෙන් මෙතරම් දුර මුදවාගැනීමේ මෙහෙයුමකට නාවික හමුදාව සහභාගී වූයේ පළමු වරට බවයි. අනතුරට පත් නෞකාව චීන නෞකාවක් බවත්, එය අනතුරට පත් වූයේ ඕස්ට්‍රේලියානු මුදවාගැනීමේ කලාපයේ බවත්, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව ඇමෙරිකාවෙන් ලබාදුන් නෞකාවක් බවත්, මෙහෙයුමට සහභාගී වූ කිමිදුම්කරුවන්ගෙන් 95%ක් ඉන්දියාවේ පුහුණුව ලැබූවන් බවත් පෙන්වා දුන් නාවික හමුදාපතිවරයා, මෙය සැබවින්ම ‘ජාත්‍යන්තර උත්සහයක්’ බව පැවසීය.
වචන ස්වල්පයක් එක් කරමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ සියල්ලන්ගේම නිර්භීතකම අගය කළ අතර, විජයබාහු නෞකාවේ සියලු නාවිකයන්ට මෙම අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය චීන තානාපති කාර්යාලයට පුද කළේය.
මෙමගින් තවදුරටත් චීන – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, ඉදිරියේදීද ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ කටයුතු වලදී තවදුරටත් චීනයේ සහය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.