ඡායාරූප සටහන

ජනපති අතින් කුලියාපිටියේ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව විවෘත කරයි

Published

on

මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවි‍ශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ඊයේ (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණි.

දකුණු ආසියාවේ දැවැන්ත වාහන එක්ලස් කිරීමේ කර්මාන්තශාලාවක් වන වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 27කි.

මෙම කර්මාන්තශාලාවේ එකලස් කරන ලද පළමු වාහනය වන ආසන 15 ක මගී වෑන් රථයක් මෙම මාසය අවසානයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.

ගෝලීය මෝටර් රථ විශේෂඥයින් විසින් නිර්මාණය කර ඇති ඉහළම මට්ටමේ ජාත්‍යන්තර යන්ත්‍රෝපකරණවලින් සමන්විත මෙම කර්මාන්තශාලාව මඟින් තරුණ තරුණියන්ට සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා රැසක් නිර්මාණය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එසේම ගෝලීය කර්මාන්ත අවශ්‍යතාවලට අනුකූලව ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණු ආයතනයක් ද මෙහි පවත්වාගෙන යන අතර මෙරට තරුණ තරුණියන්ට එම පුහුණුව මඟින් විදේශ රැකියාවන් සඳහා යොමුවීමට අවස්ථාව සැලසෙනු ඇත.

ඊයේ (17) පස්වරුවේ කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමරු ඵලකය නිරාවරණය කර කර්මාන්ත ශාලාව විවෘත කළේය.

Trending

Exit mobile version