Connect with us

ඡායාරූප සටහන

120කගේ දෑස් පෑදූ චීන – ලංකා වැඩසටහන අවසන් (ඡායා)

Published

on

මේ අතර, චීන – ශ්‍රී ලංකා දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය වර්ධනය කිරිමේ අරමුණෙන් ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය (ASLCSCC) සහ චීනයේ විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහා වන යුනාන් පළාත් සංගමය (Yunnan Provincial People’s Association for Friendship with Foreign Countries) සමග ඒකාබද්ධව සම්පූර්ණයෙන්ම නොමිලේ අක්ෂි කාච බද්ධ කිරිමේ වැඩසටහන (“2023 Brightness Action”) අද (17) අවසන් විය.

මේ යටතේ දිවයිනේ විවිධ පළාත්වලින් වෛද්‍ය නිර්දේශ මත තෝරාගත් පුද්ගලයන් හට නොමිලේ අක්ෂි කාච බද්ධ කිරීම් 120ක් සිදුකෙරුණි.

මෙම වැඩසටහනට ප්‍රධාන වෛද්‍ය සත්කාරකත්වය සපයා තිබුණේ යුනාන් පළාතේ කුන්මිං වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පළමු වැනි අනුබද්ධිත රෝහල (The First Affiliated Hospital of Kunming Medical University) වන අතර, දේශීය වෛද්‍ය සත්කාරකත්වය සපයා තිබුණේ ලංකා හොස්පිට්ල් ආයතනයයි.

විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහා වන යුනාන් පළාත් සංගමයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හා යුනාන් පළාතේ කුන්මිං වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පළමු වැනි අනුබද්ධිත රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට පසුගිය 13දා දිවයින පැමිණ තිබුණි.

ලංකා හොස්පිට්ල් පරිශ්‍රයේ පැවති මෙම වැඩසටහනේ අද (17) දිනයට මෙරට හා චීනයේ නිලධාරීන් රැසක් එක් විය.

මේ වන විට මෙරට සංචාරක නිරත වන යුනාන් පළාතේ ආගන්තුක ආණ්ඩුකාරවරයා – වාන්ග් යූබෝ මහතා, යුනාන් පළාත් විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් – යං මූ මහත්මිය, මෙරට සිටින  චීන තානාපති – චී ජන්හොං මහතා, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය – වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය, කුන්මිං වෛද්‍ය විශ්ව විද්‍යාලයේ පළමු අනුබද්ධ රෝහලේ සභාපති – සං ජොං මහතා, ASLCSCC සභාපති – ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම් – එල්.පී. මදනායක මහතා, ලංකා හොස්පිට්ල්ස් හි ප්‍රධාන විධායක නිලධාරී – වෛද්‍ය දීප්ති ලොකුආරච්චි මහතා, ලංකා හොස්පිට්ල්ස් හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී – වෛද්‍ය ලසන්ත කරුණාසේකර මහතා මෙන්ම තානාපති කාර්යාල සහ රෝහල් කාර්ය මණ්ඩල සමාජිකයන්ද මෙම අවස්ථාවට එක්විය.

උත්සවයේ දී ආණ්ඩුකාරවරයා හා සුහද කතාබහක නිරත වූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය – වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය,  සිය කෘතඥතාව පළ කළ අතර, සමාජයේ සෑම තරාතිරමකම ජනතාවට ප්‍රතිලාභ සැලසෙන මෙවැනි තවත් ව්‍යාපෘති ඉදිරියේදීත් මෙරට තුළ පැවැත්වීමට හැකිවේ යැයි පැවසුවාය. ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුකාරවරයා පවසා සිටියේ දෙරට අතර සහයෝගීතාව වර්ධනය වීම තමාද බලාපොරොත්තු වන බවයි.

මෙරටට පැමිණ සිටින චීන වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ කතාබස් කළ වාන්ග් මහතා ඔවුන් ගේ මහන්සිය අගය කළ අතර, පුද්ගලයන් 120 දෙනෙකුගේ දෑස් පෙනීම යථා තත්ත්වයට පත් කරමින් ඔවුන් එම රෝගීන්ව චීන – ශ්‍රී ලංකා සහයෝගීතාවයේ තානාපතිවරුන් බවට පත් කළ බවද පැවසීය.

(ඡායා : ශානිකා ජයසේකර)

ඡායාරූප සටහන

ඝාතනය වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන්ව මඩකලපුවේදී සමරයි

Published

on

By

ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන් මහතාගේ 21 වැනි සැමරුම අද (31) මඩකලපුව ගාන්ධි උද්‍යානයේදී පැවැත්විය.

නැගෙනහිර මාධ්‍ය ෆෝරමය, බැටී ප්‍රෙස් ක්ලබ් සහ උතුරු සහ දකුණු මාධ්‍ය සංවිධාන එක්ව මෙය සංවිධානය කර තිබිණි.

පසුගිය පාලන සමයන්හිදී ඝාතනයට ලක්වූ සියලුම මාධ්‍යවේදීන් වෙත යුක්තිය ඉටු කරන ලෙසත් මාධ්‍ය නිදහසට අත නොතබන ලෙසත් එහිදී අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Continue Reading

ඡායාරූප සටහන

“Build Sri Lanka  ජාත්‍යන්තර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

Published

on

By

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වෙනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය” නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) පෙරවරුවේ එක් විය.

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රධානතම නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ප්‍රදර්ශනය ඊයේ (30) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර එය හෙටින් (01) අවසන් වේ.

ප්‍රදර්ශන කුටි 280කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදර්ශනය නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධානම පාර්ශ්වකරුවන් ඒකරාශි වන වේදිකාවක් වන හෙයින්, මෙමගින් තම සබඳතා ගොඩනගා ගැනීමටත්, ව්‍යාපාර අවස්ථා ලබා ගැනීමටත්, නව නිර්මාණ හා නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් ප්‍රදර්ශකයන්ට අවස්ථාව උදා කරයි.

මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා 30,000කට වැඩි නරඹන්නන් පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර විදේශීය රටවල් කිහිපයක ප්‍රදර්ශන කුටි හා භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට උදා කර දී තිබේ. එමෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තරව පිළිගත් පරිසර හිතකාමී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන රාශියක් මෙවර ප්‍රදර්ශනයේදී දැක බලා ගත හැකිය. 

ප්‍රදර්ශන කුටි වෙත යමින්  ප්‍රදර්ශනකරුවන්ගේ තොරතුරු විමසීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි ජනතාව සමගද සුහද කථා බහක නිරත විය. 

ප්‍රදර්ශනයට එක්ව සිටින අනුග්‍රාහක ආයතන වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ  ලේකම් රංජිත් ආරියරත්න,  ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත පෙරේරා, ප්‍රධාන විධායක නිලධාරී, විශ්‍රාමික කර්නල්, ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ ආරම්භක සභාපති දේශමාන්‍ය ආචාර්ය සුරත් වික්‍රමසිංහ මහතා ඇතුළු හිටපු සභාපතිවරුන්ද, Colonial Engineering පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එන්. සතීෂ්රාජා මහතා ඇතුළු අනුග්‍රාහක භවතුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභින් වෙත භාර දේ

Published

on

By

2025 මැයි 26 වන දින ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ නියෝජ්‍ය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ටී. බී. සරත් මහතා විසින් මන්නාරම දිස්ත්‍රික්කයේ ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභී පවුල් 24 වෙත භාර දෙන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් ජෙගදීශ්වරන් මහතා, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා, මන්නාරම් දිස්ත්‍රික් ලේකම්තුමා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ, උතුරු පළාත් සභාවේ සහ මන්නාරම දිස්ත්‍රික් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉන්දියානු රජයේ ප්‍රදාන සහයෝගය සහිත ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සමඟින් දිවයිනේ දිස්ත්‍රික් 25 තුළම ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය 2017 ඔක්තෝබර් මාසයේ දී අත්සන් තබන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්
නිවාස කමිටු විසින් තෝරා ගනු ලබන පවුල් 24ක් සඳහා වන ආදර්ශ ගම්මානය බැගින් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අඩු ආදායම්ලාභී පවුල් 600ක් සඳහා නිවාස ඉදි කෙරෙනු ඇත.

මේ වන විට මෙම ව්‍යාපෘතිය යටතේ ආදර්ශ ගම්මාන මඩකලපුව, වවුනියාව, යාපනය, මහනුවර, ගම්පහ, අනුරාධපුරය, බදුල්ල, මාතලේ, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, මොනරාගල සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක  13 තුළ ඉදි කර ප්‍රතිලාභීන් වෙත භාර දී තිබේ. ව්‍යාපෘතියේ ප්‍රගතිය 97%ක් ඉක්මවා තිබෙන අතර ඉතිරි ආදර්ශ ගම්මාන ද නුදුරේදී ම ප්‍රතිලාභින් වෙත භාර දීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved