කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් අද (26) කොළඹ දී 76 වන ඉන්දීය ජනරජ දිනය සමරන ලදී.
ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දීය මහ කොමසාරිස්තුමාගේ නිල නිවස වන ඉන්දියා හවුස් හිදි පැවති සැමරුම් උළෙලේදී වැඩ බලන මහ කොමසාරිස් වෛද්‍ය සත්‍යාංජල් පාණ්ඩේ මහතා විසින් ඉන්දීය ධජය ඔසවා හමුදා උත්තමාචාර නිරීක්ෂණය කළේය. මෙහිදී වැඩ බලන මහ කොමසාරිස්වරයා ඉන්දීය ජනාධිපතිතුමියගේ ජනරජ දින පණිවිඩයේ උපුටාගැනීම් ද ඉදිරිපත් කරන ලදී.
ඉන්දියාවේ පොහොසත් විවිධත්වය නර්තනාංග සහ සංගීත ඉදිරිපත් කිරීම් සමඟින් සමරමින් ශ්‍රී ලංකා නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ගීත ඉදිරිපත් කළ අතර මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ සංස්කෘතික වැඩසටහනක් ද පැවැත්විණ. ICA විසින් සංවිධානය කළ දේශානුරාග ගී ඉදිරිපත් කිරීමක් ‘විවිධ ප්‍රාන්ත, එකම ඉන්දීය හැඟීම’ යන තේමාව යටතේ ඉන්දීය ප්‍රජාවේ දරුවන් එකට එක් කළේය. ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ සිසු සිසුවියන් විසින් ‘වන්දේ මාතරම්’ ගීතය සඳහා මනහර රංගනයක් ඉදිරිපත් කරන ලදී. මෙම උත්සවය සඳහා ඉන්දීය ප්‍රජාවේ සාමාජිකයන් සිය ගණනක් සහභාගී වූහ.
අද උදෑසන වැඩ බලන මහ කොමසාරිස්වරයා හා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය අභියස දී ශ්‍රී ලංකාවේදී දිවිපිදූ ඉන්දීය සාම සාධක හමුදා විරුවන් සඳහා උපහාර දැක්වීය.
ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් අද සන්ධ්‍යාවේ ඉන්දියා හවුස් හිදි ප්‍රිය සම්භාෂණයක් පැවැත්වෙනු ඇති අතර, මෙරට විවිධ ක්ෂේත්‍රයන්හි සම්භාවනීය අමුත්තන් රැසක් එම අවස්ථාවට එක්වීමට නියමිතයි.
මෙවර ජනරජ දිනය ඉන්දීය ව්‍යවස්ථාව අරඹා වසර 75ක් සපිරීම සනිටුහන් කරන අතර, එහි තේමාව වන්නේ “ස්වර්ණිම් භාරත් – විරාසත් ඕර් විකාස්” යන්නයි. ඉන්දියාවේ උරුමය සහ සංස්කෘතික සාරධර්ම ආරක්ෂා කර ගනිමින් නවීකරණය සහ සංවර්ධනය වීමට තරුණ ඉන්දියාවේ අධිෂ්ඨානය මෙම තේමාව තුළින් මනාව පිළිඹිබු වේ.
හම්බන්තොට සහ යාපනය ඉන්දීය කොන්සියුලර් ජෙනරාල් කාර්යාල සහ මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද 76 වන නිදහස් දිනය නිමිත්තෙන් විශේෂ උත්සව සංවිධානය කර තිබුණි.
(ඡායා : ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය, කොළඹ)