ක්‍රීඩා

විස්සයි විස්ස ලෝක කුසලාන තීරණාත්මක තරග දෙකක් අද

Published

on

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තීරණාත්මක තරග දෙකක් අද (04) පැවැත්වීමට නියමිතය.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන නවසීලන්තය සහ එහි පස්වැනි ස්ථානය හිමි අයර්ලන්තය මෙරට වෙලාවෙන් උදෑසන 9. 30ට තරග වැදීමට නියමිතව ඇත.

පළමු කාණ්ඩයේ ලකුණු සටහනට අනුව පිළිවෙළින් පළමු, දෙවැනි සහ තුන්වැනි ස්ථානවල පසු වන්නේ නවසීලන්තය, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාවයටයි.

ඔවුන් ලකුණු 5 බැගින් ලබා ඇති අතර ශූද්ධ ලකුණු රැස් කිරීමේ වේගය මත ඉහත ස්ථානවල රැඳී සිටී.

ප්‍රසාද ලකුණු 5ක් ලබා සිටින නවසීලන්තය මෙම තරගය ජය ගැනීමට සමත් වුවහොත්, අවසන් පූර්ව වටයේ ස්ථානය වෙනුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තු ඉහළ යනු ඇත.

මේ අතර අද දිනයේ පැවැත්වීමට නියමිත දෙවැනි තරගය ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වේ.

ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය පන්දුවාර 20යි 20 තරග බිමකදී පළමුව මුණගැසෙන්නේ මෙම තරගයෙදී වීම විශේෂත්වයකි.

අද දිනයට නියමිත තරග දෙකම ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර විදෙස් වාර්තා පවසන්නේ ඇඩිලේඩ් ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයට යහපත් කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවයි.

අවසන් පූර්ව වටයේ තම ස්ථාන තහවුරු කර ගැනීම සඳහා කරට කර තරගයක නිරත වන ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම්වලට මෙම තරග දෙකේ ප්‍රතිඵල අතිශය වැදගත් වේ.

Trending

Exit mobile version