ක්‍රීඩා

දුම්රිය රියැදුරන්ගේ වර්ජනය අත්හිටුවයි!

Published

on

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය රියදුරු වර්ජනය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවකදී එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව මෙලෙස දුම්රිය වර්ජනය අවලංගු කර ඇති බව පැවසේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ (09) මධ්‍යම රාත්‍රී 12.00 සිට සිය සේවාවලින් ඉවත් වී වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ලොකොමොටිව් ඔපරේටිං ඉන්ජිනේරු සංගමය තීරණය කර තිබිණි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කර ඇත්තේ, වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම් අවම කිරීමේ අරමුණින් දුම්රිය රියැදුරන් ඇතුළු දෙපාර්තමේන්තු සේවකයන්ගේ අතිකාල කප්පාදු කිරීම, ඇතැම් මගී ප්‍රවාහන දුම්රියන් අවලංගු කිරීමට කටයුතු කරීම, ඉන්ධන ප්‍රවාහන දුම්රියවලින් හා භාණ්ඩ ප්‍රවාහන දුම්රියවලින් ආදායම් ලබා ගැනීමේ ක්‍රමවේද නිසිලෙස කළමනාකරණය නොකිරීම, අසාධාරණ සහ අයුක්ති සහගත අයුරින් බදු අය කිරීම යන කරුණු මූලික කර ගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළෙඔන බවයි.

එමෙන් ම, දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ නැංවීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් ඇතුළු දුම්රිය දේපළ ආදිය නිසියාකාරව කළමණාකරණය කිරීම වැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

2022.04.2 දින සංගමය විසින් දුම්රිය සමාන්‍යාධිකාරීවරයාට ගැටලු ඉදිරිපත් කරනු ලැබ ඇති අතර මේ දක්වා ඊට සාධනීය ප්‍රතිඵලයක් ලැබී නොමැති බව ද එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර තිබිණි.

Trending

Exit mobile version