ක්‍රීඩා

සිම්බාබ්වේ කඩුලු 2කින් පරදවයි

Published

on

සංචාරක සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාව අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 2ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල ඊයේ (08) සමත් විය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග 4ක් එක දිගට පරාජයවී හෙම්බත්ව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මේ ජයග්‍රහණය තරමක අස්වැසිල්ලක් වනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ කියති.

ලකුණු 209ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා පිලේ ලකුණු පුවරුව කඩුලු 8කට ලකුණු 172ක් ලෙස සටහන් වී ජයග්‍රහණය දෝලනය වී තිබූ මොහොතක පන්දු යවන්නන් ලෙස කණ්ඩායමේ සිටින දුෂ්මන්ත චමීර හා ජෙෆ්රි වැන්ඩර්සේ 9 වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 39ක සබඳතාවක් ගොඩ නඟා ජයග්‍රහණය ලබා ගැනීම ද විශේෂිතය.

ජෙෆ්රි වැන්ඩර්සේ පන්දු 18කදී හතරේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 19ක් හා දුෂ්මන්ත චමීර පන්දු 25කදී හතරේ 2ක් සමඟ නොදැවී ලකුණු 18ක් ලබා ගැනීමට සමත් විය.

ඉදිරි පෙළ පිතිකරුවන් එකා පිට එකා දැවී ගොස් විශාල බරක් නවක ක්‍රීඩක ජනිත් ලියනගේ වෙතට පැටවෙද්දී ඔහු එක් අන්තයක් ආරක්ෂා කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට සමත්වූයේ ලකුණු 95ක් රැස්කර ගනිමිණි.

 ජනිත් ලියනගේ සිය ඉනිමට පන්දු 127කදී හයේ 2ක් හා හතරේ 6ක් එක් කිරීමට ද සමත් විය.

ඔහුගේ එම ඉනිමට තරගයේ වීරයා සම්මානය ද හිමි විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ ක්‍රිකට් නායක ග්‍රෙග් අර්වින් මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන්ට පන්දුවාර 43කදී සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 208ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එක් පන්දුවාරයක් ඉතිරිව තිබියදී කඩුලු 8ක් දැවී ලකුණු 211ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරුකර ගත්තේය.

දෙරට අතර තෙවැනි හා අවසන් එක්දින තරගය අනිද්දා (11) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Trending

Exit mobile version