චීනය විසින් ශ්‍රී ලංකාවට මකර බෝට්ටු 5ක් ලංකාවට ප්‍රදානය කර තිබේ.
මෙම ප්‍රදානය කිරීම පසුගිය 31 වැනිදා දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැත්වුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලිය අතරතුරදී සිදුවිය.
මෙරට චීන තානාපති කාර්යාලය හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ මෙම තරගාවලිය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකාවේ කැනූඉං සහ කායැකිං ජාතික සංගමය, කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් සමාගම, මෙරට පවතින චීන වාණිජ මණ්ඩලය හා Sri Lanka Overseas Chinese Association විසිනි.
පාසැල් හා විශ්ව විද්‍යාල කණ්ඩායම් මෙන්ම ක්‍රීඩා සමාජ, ආරක්ෂක අංශ හා චීන කණ්ඩායම් ද මීට එක්විය. මොවුන් අතරට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇතුළත් කණ්ඩායම් 05ක් යාපනයෙන් ද එක්වීම සුවිශේෂී විය.
මකර බෝට්ටු 5ක් ලංකාවට ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කළ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙය හුදෙක් ක්‍රීඩා තරගාවලියක් පමණක් නොව දෙරට අතර මිත්‍රත්වය, සංස්කෘතිය හා සහයෝගීතාවයේ ප්‍රබල සංකේතයක් බවයි.
මෙහිදී අදහස් දැක්වූ චීන තානාපති – චී ජන්හොංග් මහතා පවසා සිටියේ මෙම ශූරතාවය, දෙරට අතර ක්‍රීඩා හා සංස්කෘතික හුවමාරුවන් තවදුරටත් ගැඹුරු කිරීමටත් දෙරට ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය වැඩි දියුණු කිරීම සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් වන බවයි.
ශ්‍රී ලංකාවේ කැනූඉං සහ කායැකිං ජාතික සංගමයේ සභාපති – රියර් ඇඩ්මිරල් එච්.එන්.එස්. පෙරේරා මහතා පැවසූවේ මෙම අවස්ථාව සම්ප්‍රදාය හා නූතනත්වය අතර පාලමක් බඳු බවයි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය – සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, චීන තානාපති – චී ජන්හොංග් යන මහතුන් අතින් ජයග්‍රාහකයන් හට කුසලාන සහ සහතික පත්‍ර පිරිනැමුණි.
පිරිමි හා කාන්තා විවෘත අංශ වල ජයග්‍රහණය ලැබීමට පිළිවෙලින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා කොළඹ විශාඛා විද්‍යාලයේ කණ්ඩායම් සමත් වූ අතර, කණිෂ්ට කාන්තා අංශයේ ජයග්‍රහණය හිමිවූයේද විශාඛා විද්‍යාලයටයි.
මේ අතර, කණිෂ්ට පිරිමි අංශයේ ජය හිමිවූයේ යාපනයේ තම්පඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසලේ කණ්ඩායමටයි.
මාස්ටර්ස් කාන්තා අංශයේ ජය සීලෝං කණ්ඩායමටත්, මිශ්‍ර අංශයේ ජය සබරගමු විශ්ව විද්‍යාලයේ කණ්ඩායමටත් හිමිවිය.
(ඡායා : ශානිකා ජයසේකර)