Connect with us

විදෙස්

ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින්ට දැනුම්දීමක් (UPDATE)

Published

on

ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින් මෙම මස 29වනදාට ප්‍රථම එරටින් පිටවිය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසා ඇත.

ඉන්දියාවේ පාලන ප්‍රදේශයක් වන කාශ්මීරයේදී සංචාරකයින් ඉලක්ක කරගනිමින් එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර මීට ප්‍රතිචාර දක්වමින් පාකිස්තානය පවසා ඇත්තේ ඉන්දීය පුරවැසියන්ට නිකුත් කර ඇති සියලුම විශේෂ වීසා අවලංගු කරන බවය.

එමෙන්ම ඉන්දියාවට අයත් හෝ ඉන්දීය ගුවන් සේවා මගින් පවත්වාගෙන යන ගුවන්යානා සියල්ලටම තම ගුවන් කලාපය වසා දමන බවද පාකිස්තානය අවධාරණය කර තිබේ.

සංචාරකයින් ඉලක්ක කරගනිමින් සිදුවූ මෙම ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව මේ වනවිට පාකිස්තාන ජාතිකයන්ට සිය රටින් පිටවන ලෙස දැනුම්දීමත් සමග පාකිස්තානය ඊට මෙලෙස ප්‍රතිචාර දක්වා ඇත.

අදාළ ප්‍රහාරයෙන් පසුව සුප්‍රකට අට්ටාරි දේශසීමා පිවිසුම වසා දැමීමට ඉන්දියාව තීරණය කළේය.

එමෙන්ම නවදිල්ලි පිහිටි පාකිස්තාන තානාපති කාර්යාලයේ රැඳීසිටින පාකිස්තාන යුද, ගුවන් සහ නාවික උපදේශකවරුන්ට සතියක් තුළ රටින් පිටවන ලෙස ඉන්දියාව නියෝග කර තිබේ.

පාකිස්තානයේ රැඳීසිටින සිය ආරක්ෂක උපදේශකවරුන් ද ඉවත් කර ගැනීමට ඉන්දියාව තීරණය කර ඇත.

මේ අතර 1960 වසරේදී දෙරට අතර අත්සන් තැබුණු ඉන්දු ජල ගිවිසුම ද අත්හිටුවීමට ද ඉන්දියාව පියවර ගෙන තිබුණි.

ඉන්දියාවට අයත් ඉන්දු ගංඟාව සහ එහි අතු ශාඛාවලින් පාකිස්තානයේ මිලියන ගණනකට සංඛ්‍යාවකට ජලය සැපයෙන අතර ජලයේ අයිතිය මුල්කර ගනිමින් අවස්ථා කිහිපයකදී දෙරට අතර යුද ගැටුම් ද ඇතිවිය.

කෙසේවෙතත් මෙම තත්ත්වයන්ට ප්‍රතිචාර දක්වමින් පාකිස්තානය වැඩිදුරටත් පවසා ඇත්තේ ඉන්දු ගංඟාවල ජලය පාකිස්තානය වෙත ගලාඒම නතර කිරීමට ඉන්දියාව යම් උත්සාහයක් ගතහොත් එය යුදමය හැසිරීමක් ලෙස සලකන බවය.

ඊට එරෙහිව තම රටේ සමස්ත බලයම යෙදවීමට පියවර ගන්නා බව පාකිස්තානය අවධාරණය කර තිබේ.

මේ අතර ඉන්දියාව විසින් වීසා අවලංගු කිරීමට ගත් තීරණය නවදිල්ලියේ සිටින පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට බලනොපාන අතර එහෙත් මීට දින කිහිපයකට පෙර ඉන්දීය නියෝග මත ඔවුන්ගේ සංඛ්‍යාව අඩුකර ඇති බව සඳහන් ය.


(පෙර පුවත 2025 අප්‍රේල් 24, පෙ.ව.8:18)

ඉන්දු පාකිස්තාන දේශසීමා වැසේ

සාර්ක් වීසා නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය (SVES) යටතේ ඉන්දියාවේ සිටින පාකිස්තාන ජාතිකයින්ට ඉන්දියාවෙන් පිටවීමට පැය 48 ක කාලයක් ලබා දී තිබේ.

ඒ කාශ්මීරයේ ඊයේ(23) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ගත් ප්‍රධාන පියවර කිහිපයක ප්‍රතිපලයක් ලෙසය.

මේ වනවිට ඉන්දීය රජය පාකිස්තානය සමඟ ඇති දේශ සීමාව වසා දැමීමට තීරණය කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා අතර සඳහන් වන්නේ නවදිල්ලියේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ සහ ඉස්ලාමාබාද්හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක තනතුරු අවලංගු කිරීමටද පියවර ගෙන තිබෙන බවය.

ඉන්දියාව ද සිය ආරක්ෂක හමුදා “ඉහළ සෝදිසියකට” ලක් කර ඇති බවද සඳහන්ය.

සබැඳි පුවත් :

විදෙස්

පාප් වහන්සේගේ දේහය ශාන්ත පීතර බැසිලිකාවට

Published

on

By

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද (23) මහජන ගෞරවය සඳහා ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කරන ලදී.

ලක්ෂ සංඛ්‍යාත කතෝලික බැතිමතුන් මේ වනවිට රෝමය සහ වතිකානය වෙත පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරර්යි.

පසුගිය සඳුදා ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (26) සිදුකිරීමට නියමිතව පවතී.

ඒ ඊයේ රැස්වූ කාදිනල් මඬුල්ල ගත් තීන්දුවකට අනුවය.

උන්වහන්සේගේ අවමංගල කටයුතු සිදුකරන සැලැස්ම ද මෙහිදී අනාවරණ කෙරුණි.

ලබන සෙනසුරාදා දක්වා ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කෙරෙන දේහය අනතුරුව ශාන්ත පීතර චතුරස්‍රයට රැගෙන ගොස් අවමංගල උත්සවය පැවැත්වීමට නියමිතය.

නැවතත් ශාන්ත පීතර බැසිලිකාව තුළට රැගෙන යන දේහය ඉන් අනතුරුව උන් වහන්සේගේ අවසන් ගිමන් ලබන ස්ථානය වන ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවට රැගෙන යන්නේ රිය පෙරහරකිනි

මෙම අවස්ථාවේදීත් මාර්ගය දෙපස රැස්වී පාප් වහන්සේ වෙත සිය ගෞරවය දැක්වීමේ අවස්ථාව ජනතාවට හිමිකර දී තිබේ.

මේ අතර ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල උත්සවය සඳහා ලෝක නායකයින් රැසක් සහභාගි වන බවට මේ වනවිට තහවුරු කර ඇත.

ඒ අතරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් මෙන්ම බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරුද අයත්ය.

Continue Reading

විදෙස්

දකුණු කාශ්මීරයේ වෙඩිතැබීමකින් 26ක් මරුට – මෝදිගෙන් අනතුරු ඇඟවීම්

Published

on

By

දකුණු කාශ්මීරයේ පහල්ගම්හි සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ සංචාරකයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය.

ප්‍රහාරයෙන් ඉන්දීය නාවික හමුදා නිලධාරියෙකු මෙන්ම බුද්ධි කාර්යාංශයේ නිලධාරියෙකු ද ජීවිතක්ෂයට පත් ව තිබේ.

ජම්මු කාශ්මීර ප්‍රදේශයේ මෑතක සිදු වූ දරුණුතම ප්‍රහාරය මෙය වන බවයි වාර්තා වේ.

ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් රැගෙන ඒම සඳහා හමුදා හෙලිකොප්ටර් යානා යොදා තිබේ.අදාළ ප්‍රදේශයට වාහන ගමන් කිරීමේ දුෂ්කරතා හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු වගකීම භාරගෙන නොමැති අතර ඉස්ලාමීය බෙදුම්වාදී කැරලිකරුවන් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට විශ්වාස කරයි.

මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි X සටහනක් ද තබා තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ මෙවැන්නක්;

”ජම්මු කාශ්මීරයේ පහල්ගම්හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය මම දැඩි ලෙස හෙළා දකිමි. තම ආදරණීයයන් අහිමි වූවන්ට ශෝකය පළ කරමි. තුවාල ලැබූවන් ඉක්මනින් සුවය ලබනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි. පීඩාවට පත් වූවන්ට හැකි සෑම ආධාරයක්ම ලබා දෙනු ලැබේ.

මෙම නින්දිත ක්‍රියාව පිටුපස සිටින අයව නීතිය හමුවට පමුණුවනු ලැබේ… ඔවුන් බේරෙන්නේ නැත! ඔවුන්ගේ නපුරු න්‍යාය පත්‍රය කිසි විටෙකත් සාර්ථක නොවනු ඇත. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ අපගේ අධිෂ්ඨානය නොසැලෙන අතර එය තවත් ශක්තිමත් වනු ඇත” යනුවෙන් එහි සඳහන්.

Continue Reading

විදෙස්

පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව වතිකානය නිල වශයෙන් නිවේදනය කරයි.

Published

on

By

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාතය සහ දරුණු හෘදයාබාධ තත්ත්වයක් බව වතිකානය නිල වශයෙන් නිවේදනය කළේ ය.

මේ අතර, වතිකානයේ වැඩ බලන ප්‍රධානි හෙවත් කැමර්ලෙන්ගෝවරයා ලෙස කාදිනල් කෙවින් ෆැරල් නම් කර තිබෙනවා.

ලොවපුරා කතෝලිකයින්ගේ දෘෂ්‍යමාන නායකයාණන් සහ එඩේරාණන් වන අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් ඊයේ පෙරවරුවේ ස්වර්ගස්ථ විය.

උන්වහන්සේගේ වයස අවුරුදු 88 කි.වතිකාන වේලාවෙන් ඊයේ උදෑසන 7.35 ට පමණ උන්වහන්සේ ස්වර්ගස්ථ වුණේ, කාසා සැන්ටා මාර්තා හී පිහිටි උන්වහන්සේගේ නිවසේදී ය.

ශුද්ධෝත්තම හිමිපාණන්ගේ වියෝව සැලවීමත් සමග ලොව පුරා විශාල පිරිසක් වතිකානයට රැස්වෙමින් සිටී.

ලොව පුරා කතෝලික ජනතාව මේ වන විට ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් වෙනුවෙන් යාච්ඤා මෙහෙයන්වල නිරත වෙයි.

ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරනු ලබන ගෞරවයක් වශයෙන් ලොව ප්‍රසිද්ධ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දැමීමට තීරණය කර තිබේ.පැරිස් නගරාධිපතිනි ඈන් හිඩැල්ගෝ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ පාප් වහන්සේගේ මතකයට ගෞරව කිරීමක් වශයෙන් අයිෆල් කුළුණ ඊයේ රාත්‍රියේදී නිවා දැමීමට තීරණය කළ බවය.

මේ අතර පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

සාම්ප්‍රදායානූකූලව සුදතුම් හිමිපාණන් නවාතැන් ගෙන සිටි කාසා සැන්ටා මාර්තා හී පිහිටි උන්වහන්සේගේ නිවස ඊයේ පස්වරුවේ මුද්‍රා තැබුණි. ඒ, කැමරලින්ගෝවරයා ලෙස හැදින්වෙන කාදිනල්වරයෙකු විසින් ය.

මේ අතර, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා රෝමයේ පිහිටි සාන්ත මරියා මැජෝරි දේවස්ථානය සූදානම් කරමින් පවතියි. ඒ, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමියන්ගේ අවසන් කැමැත්තට අනුවයි.

රෝමයේ සාන්ත මරියා මැජෝරි දේවස්ථානය උන්වහන්සේගේ ජීවිත කාලය තුළ සුවිශේෂි දේවස්ථානයක් ලෙස උන්වහන්සේ හඳුන්වා දී තිබේ.

පාප්වහන්සේ කෙනෙකුගේ අවසන් කටයුතු වතිකානයෙන් පිටත සිදුකෙරෙන්නේ වසර 100 කට පමණ පසුව වීමද විශේෂත්වයකි.

මීට පෙර පාප්වහන්සේලාගේ අවසන් කටයුතු වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ විශේෂ පීඨිකාවකදී සිදුකෙරිණ‍.

උන්වහන්සේ සිය අවසන් කැමැත්තේ සදහන් කර ඇති ආකාරයට අවමංගල්‍ය කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සාම්ප්‍රදායික අවසන් කටයුතු සිදුවන ආකාරයෙන් බැහැරව සරල සහ චාම් අවමංගල්‍ය උත්සවයක් පවත්වන්නැයි පාප්වහන්සේ ඉල්ලා ඇති බවයි.

සයිප්‍රස්, ඊයම් සහ ඕක් වලින් සාදන ලද කූඩු කළ පෙට්ටියක පාප්වහන්සේගේ දේහය තැන්පත් කිරීම සම්ප්‍රදාය වුවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සරල පෙට්ටියක තමන් තැන්පත් කරන ලෙස කල ඉල්ලීම අනුව ක්‍රියාකිරීමට වතිකානය මේ වනවිට පියවර ගෙන තිබේ. මහජන දර්ශනය සඳහා ශාන්ත පීතර බැසිලිකාවේ උස් වේදිකාවක් මත දේහය තැබීමේ සම්ප්‍රදාය ද ඉවත් කරන ලෙස උන්වහන්සේ ඉල්ලීමක් කර තිබේ.

ශ්වසන ආබාධයක් හේතුවෙන් පසුගිය පෙබරවාරි මස 14 වැනිදා ශුද්ධෝත්තම හිමිපාණන් රෝහල්ගත කෙරු ණි. උන්වහන්සේ යළි වතිකානයට පැමිණියේ, දින 38 ක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුවයි.

වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ පැවති පාස්කු ඉරිදා දින දේව මෙහෙයට ශුද්ධෝත්තම හිමිපාණන් ඊයේ සහභාගී විය. එය, උන්වහන්සේ අවසන් වරට ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියේ පෙනී සිටි අවස්ථාවයි.

පාස්කු ඉරිදා දේව මෙහෙයට එක්වූ ශුද්ධෝත්තම හිමිපාණන් අවසන් වරට ලෝකවාසීන්ගෙන් ඉල්ලා සිටියේ, ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙසයි.

ශුද්ධෝත්තම පාප්වහන්සේ පෙරේදා ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී වෑන්ස්ද හමුවී තිබුණි.

නියුමෝනියා තත්ත්වයෙන් පීඩාවිද ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේට විවේක සුවයෙන් කාලය ගතකරන ලෙස වෛද්‍යවරුන් උපදෙස් ලබාදී තිබුණි. නමුත් ශුද්ධෝත්තම පියතුමා රෝගී තත්ත්වයද නොතකා සිය මෙහෙවර වෙනුවෙන් පසුගිය දින කිහිපයේ වෙහෙස වුණි.

මේ අතර, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසුව නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට නියමිත ය. ඒ කාදිනල්වරුන් 135 දෙනෙකු පමණ සහභාගීව, වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ සිස්ටයින් දේවස්ථානයේ පැවැත්වෙන රහස් ඡන්දයකින් ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved