පවතින තත්වයට හමුදා විසඳුමක් නැති බවත්, එකම බලාපොරොත්තුව සාමය බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ රාත්‍රියේ ඉරානයට එල්ල කරන ලද ඇමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමිනි.
X සටහනක් එක්කරමින් ඔහු තවදුරටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් වලින් ඉල්ලා ඇත්තේ ගැටුම්කාරී තත්ත්වය අඩුකර, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා අනෙකුත් ජාත්‍යන්තර නීති වලට ඇති බැඳීම ඉෂ්ට කරන ලෙසයි.
“මෙම භයානක පැයේදී, අවුල් සහගත තත්වය උත්සන්න වීම වළක්වා ගැනීම ඉතා වැදගත් වේ. මෙයට මිලිටරි විසඳුමක් නැත. ඉදිරියට ඇති එකම මාර්ගය රාජ්‍ය තාන්ත්‍රිකභාවයයි… එකම බලාපොරොත්තුව සාමයයි,” යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති සංවිධානය ද දැඩි ලෙස විවේචනය කර තිබුණි.
මීට පෙර ටෲත් සෝෂල් සමාජ මාධ්‍යයේ සටහනක් එක්කරමින් ඇමෙරිකානු ජනපති – ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ ෆෝඩෝ, නටන්ස් හා එස්ෆහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඇමරිකාව විසින් සාර්ථකව ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි.
පසුව ජාතිය අමතමින් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානය දැන් සාමය ඇති කර ගත යුතු බවත් ඔවුන් එසේ නොකළහොත් අනාගත ප්‍රහාර බොහෝ විශාල වනු ඇති බවය.
“මතක තබා ගන්න, ඉලක්ක බොහොමයක් ඉතිරිව තිබෙනවා. සමහර විට වඩාත්ම මාරාන්තික විය හැකියි. නමුත් සාමය ඉක්මනින් උදා නොවන්නේ නම්, අපි නිරවද්‍යතාවයෙන්, වේගයෙන් සහ කුසලතාවයෙන් අනෙක් ඉලක්ක වෙත යන්නෙමු,” යැයි ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබුණි.