මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා විසින් දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ආනයනික පොල්තෙල් සඳහා රුපියල් 25ක බද්දක් පනවන බවට කලින් දැනුම්දීම සම්බන්ධයෙන් මේවන විට විශාල ආන්දෝලනයක් ඇතිව තිබේ.
ඒ බදු වැඩි කිරීම සම්බන්ධයෙන් කලින් ප්‍රකාශ කිරීම තුළින් දේශීය පොල්තෙල් නිෂ්පාදකයා හෝ පාරිභෝගිකයා ඉන් ආරක්ෂා නොවන තත්ත්වයක් නිසාය.
මේ වන විටද ආනයනික පොල්තෙල් සඳහා රුපියල් 15/- ක විශේෂ තීරු බද්දක් අයකරනු ලබයි.
කෙසේවුවද, රංජිත් සියඹලාපිටිය මහතා මේ ප්‍රකාශය කර ඇත්තේ දේශීය වෙළඳ පොළට නිකුත් කිරීම සඳහා ආනයනය කරන ලද පොල්තෙල් ටොන් දහදාහකට ආසන්න ප්‍රමාණයක් බන්ධිත ගුදම්වල තිබියදී බවද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව බන්ධිත ගුදම්වල ඇති දේශීය වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිත පොල්තෙල් රුපියල් 15/- පරණ බදු යටතේ ඔවුන්ට නිදහස් කිරීමට අවස්ථාව උදාවෙන අතර ඉන් රජයට රුපියල් බිලියන 2ක පමණ බදු ආදායමක් නැතිවී යන බව ආර්ථික විශේෂඥයින්ගේ මතය වේ.
මේ අතර, ඉකුත් සති කිහිපයේ පොල්තේල් කිලෝවක මිල රුපියල් 40කින් පමණ පහල ගොස් තිබිණි.
ඒ ඩොලරයේ අගය අඩුවීම නිසා වන අතර පසුගිය සතියේ පොල්තෙල් කිලෝවක මිල සටහන්ව තිබුණේ රුපියල් 535/- ක් ලෙසය.
කෙසේවුවද, ඇමරිකානු ඩොලරය රුපියල් 302 සිට 333 පමණ දක්වා නැවත ඉහලයාමත් සමඟ මේවන විට පොල්තෙල් කිලෝවක මිල රුපියල් 565ක් පමණ දක්වා ඉහල ගොස් තිබේ.
දැනට ලංකාවට පොල්තෙල් හා පාම් ඔයිල් ආනයනයේදී වරායේදී බදු නොගෙවන අතර ඒ්වා බන්ධිත ගුදම්වල තැන්පත් කර තබා ඒවා වරින්වර නිදහසස් කිරීමේදී බදු ගෙවීම සිදුකරනු ලබයි.
මේ තත්ත්වය හේතුවෙන් රජයට ආනයනික පොල්තෙල් බදු වලින් බදු අයකර ගැනීමට සිදුව ඇත්තේද වරින්වරය.
ආනයනික පොල්තෙල් බන්ධිත ගුදම් පවත්වාගනෙ යන සමාගම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් අප කළ විමසීමකදී ඒ්ෂියන් සමාගම, නාරද ඇග්‍රෝ හා පිරමිඩ් විල්මා යන සමාගම් මෙසේ බන්ධිත පොල්තෙල් ගුදම් පවත්වාගෙන යන බව කියා සිටියේය.
මේ අතර, ආනයනික පොල්තෙල් බදු වැඩි කිරීමෙන් මෙරට පාරිභෝගිකයන්ට කිසිදු සහනයක් අත්නොවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියා සිටී.
ඊයේ (25) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එම සංවිධානයේ සහාපති රංජිත් විතානගේ මහතා කියා සිටියේය.