පුවත්

මහ පරිමාණ වංචාවකට මහජන බැංකුවේ AGM කෙනෙක් උසාවි කැඳවයි

Published

on

නීතිපතිවරයා විසින් මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවේ හිටපු ප්‍රධානියකුට එරෙහිව පවරා තිබෙන නඩුව ලබන ඔක්තෝබර් 30 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය පෙරේදා (01) නියෝග කළාය.

අංක HC 39/2019 දරන මෙම නඩුවේ විත්තිකරු ලෙස මහජන  බැංකුවේ මූලස්ථාන ශාඛාවේ සහකාර සාමාන්‍යාධිකාරිවරයකු ලෙස කටයුතු කළ විතානගේ දොන් දයානන්ද මහතා නම් කර තිබුණි.

අදාළ නඩුව පෙරේදා කැඳවූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2006 ජුනි මස 1 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹදී යම් ලේඛනයක් එනම් යශෝධා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන් විසින් 1995 ජූලි 27 වැනිදා ලියා අත්සන් කර අදාළ රාජ්‍ය බැංකුවේ මූලස්ථාන ශාඛාව වෙත ඉදිරිපත් කර ඇති බවට හැඟවෙන පරිදි සකස් කර තිබූ රුපියල් කෝටි 200කට අදාළ පුද්ගලික සුරැකුම් පතක් ලෙසට සාදන ලද ලේඛනයක් කූට ලෙස සාදනු ලැබූ බව දැන දැනම ඒ බව විශ්වාස කිරීමට කරුණු තිබියදී එම ලේඛනය නිර්ව්‍යාජ ලේඛනයක් ලෙස වංචනිකව භාවිත කිරීමෙන් එනම්, කොළඹ වාණිජ මහාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පැවැති අංක 122/2004 දරන නඩුවේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත් වී ඉහත සඳහන් ලේඛනය නඩු භාණ්ඩයක් ලෙස විත්තිකරු විසින් ඉදිරිපත් කළ බැවින්, දණ්ඩ නීති සංග්‍රහයේ 459 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් විත්තිකරු සිදුකර ඇතැයි සඳහන් කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව විත්තිකරුට එරෙහිව පවරා තිබුණි.

මෙම නඩුව සඳහා සාක්ෂිකරුවන් 22ක්ද නඩු භාණ්ඩ 18ක්ද නම් කර තිබුණි.

මෙම සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් නීතිපතිවරුන් වන සම්පත් හේවාපතිරණ, රොෂාන් ඩයස් සහ මහසෙන් සිල්වා යන මහත්වරු පෙනීසිටියහ.

සබැඳි පුවත්

Trending

Exit mobile version