පුවත්

කැලීන් සබන් ඇඩ් වලින් පාරිභෝගිකයා නොමඟ යවන බවට පාරිභෝගික අධිකාරියෙන් නිවේදනයක්!

Published

on

ශ්‍රී ලංකාවේ සබන් නිෂ්පාදනය කරනු ලබන ආයතනයක් විසින්  මෑතක සිට ප්‍රසිද්ධ මාධ්‍ය භාවිතා කරමින් ප්‍රචාරණය කරනු ලබන වෙළෙඳ දැන්වීම්වලදී අදාල සබන් වර්ගය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙහි අනුමත සබන් නිෂ්පාදනයක් ලෙස සදහන් කරමින් පාරිභෝගිකයන් නොමග යවන බව පාරිභෝගික අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එසේම, අසත්‍ය ප්‍රචාරණයන් සම්බන්ධව 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ පනත යටතේ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවූයේ අදාළ දැන්වීම ප්‍රචාරය කර ඇත්තේ මහනුවර, වැරැල්ලගම අලදෙණියේ පිහිටි ඩෙල්මා ලංකා (පෞද්ගලික) සමාගම විසින් කැලීන් බේබි සබන් වෙනුවෙන් බවයි.

අදාළ සමාගම විසින් කැලීන් සබන් නාමයට හානි වන සේ අසත්‍ය මඩ පත්‍රිකා ප්‍රචාරය කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණිල්ලක් කළ බව සඳහන් කකරමින් පුවතක් මෙන් ප්‍රචාරය කරනු ලබන වෙළඳ දැන්වීමක් මගින් මෙය සිදුකර ඇත.

එහි කොටසක, අරගල සමයේ නීතීඥ සමූහයේ සමාජික නීතීඥ අමිල එගොඩ මහවත්තගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව ඉදිරියේ ලබාදෙන ප්‍රකාශයක් ද ඇතුළත් කර තිබේ.

එම දැන්වීමේ අවසන් කොටසේ, “පාරිභෝගික අධිකාරියේ අනුමත සබන් නිෂ්පාදනයක්” ලෙසත් “අසත්‍ය මඩ ප්‍රචාරවලට රැවැටෙන්න එපා!” යැයිද සඳහන්ව තිබේ.

අදාළ කොටස පහත දැක්වේ.

මේ අතර පාරිභෝගික අධිකාරියේ නිල නිවේදනය මගින් කිසිදු ආයතනයක කිසිදු  නිෂ්පාදනයක් සඳහා අදාළ වන වෙළඳ දැන්වීම් සඳහා කවර ආකාරයක හෝ අනුමැතියක් හෝ සහතිකයක් ලබාදී නොමැති බවත් පැහැඳිළිව සඳහන් කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයා විසින් කර ඇති නිවේදනයට අනුව වෙළදපොලෙහි අලෙවිවන භාණ්ඩ, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත සහ ඒ යටතේ නිකුත් කරන ලද විධානවලට අනුකුලව නිෂ්පාදනය අලෙවිය සහ බෙදාහැරීම සිදුකල යුතු බවද දක්වා තිබේ.

පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

මීට පෙර කැලීන් බේබි (Calin Baby) සබන් කාණ්ඩ අංක CBAPE002 දරණ නිෂ්පාදනවල සටහන් TFM අගය සම්බන්ධව කළ රසායනාගාර පරීක්ෂාවකට අනුව එම නිපැයුම්වල ලේබලයේ සටහන් TFM අගය නොමැති බව සනාථ වීම නිසා පාර්භෝගක අධිකාරිය විසින් නඩුවක්ද පවරා තිබේ.

ඒ සම්බන්ධයෙන් 2024 වසරේ ජූලි මාසයේදී ඩෙල්මා ලංකා (පෞද්ගලික) කොළඹ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවරණ ලද නඩුවේදී එම සමාගම හබ කිරීමකින් තොරව වරද පිළිගත් බවට පාරිභෝගික අධිකාරිය විසින් ප්‍රසිද්ධ දැන්වීමක්ද පලකර තිබිණි.

සබැඳි පුවත්:

මෙම සබන් වර්ගය භාවිතා කරනවා නම් ප්‍රවේශම් වෙන්න

Trending

Exit mobile version