Connect with us

පුවත්

කුළුබඩු ගැසට්එක රිවර්ස් වෙයි!

Published

on

ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ , ඉඟුරු , හා කරදමුංගු ආදි ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දෙමින් රජය විසින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ ගැසට් නිවේදනය සම්බන්ධව තම විරුද්ධත්වය පළ කර තිබේ.

විශේෂයෙන් මෙම කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය සඳහා ආනයනයට අවසරදීම මඟින් දේශීය කුළුබඩු ගොවියා අධෛර්මත්වන බවත්, එමනිසා දේශීය කුළුබඩු නිෂ්පාදන වගාව කඩා වැටෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

එමෙන්ම දැනට ලෝකයේ හොඳම කුළුබඩු ලෙස සන්නාම අතර පළමු ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවේ කුළුබඩුවල ප්‍රමිතිය සඳහා මෙමඟින් ප්‍රබල බලපෑමක් එල්ල වන බව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

මෙම කරුණු සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අදාළ ගැසට් නිවේදනය අත්හිටුවීමටත්, ප්‍රතිඅපනයනය සඳහා කුළුබඩු මෙරටට ආනයනය කිරීම අත්හිටුවීමටත් තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

එමෙන්ම දේශීය කුළුබඩුවල ප්‍රමිතිය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා දීර්ඝ අධ්‍යයනයක් සිදුකිරීමටත්, දේශීය කුළුබඩු වැවිලි බෝගයන් ලෙස තවදුරටත් නැංවීම සඳහා රජය මඟින් ඉටු කළ යුතු කාර්යභාරය සම්බන්ධවත් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරන ලද බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පුවත්

ඩයනාගේ පුරප්පාඩුව මැතිවරණ කොමිසමට දන්වයි

Published

on

By

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුර‍ය අහෝසි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන ලදී.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය 2024 මැයි 08 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අහෝසි වීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු, මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදුකර තිබේ.

Continue Reading

පුවත්

විපක්ෂනායක ප්‍රශ්න හමුවේ ජනපති පාර්ලිමේන්තුවෙන් පිටවේ

Published

on

By

අද (09) පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකලේය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව සභාවේ අදහස් දැක්වූයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාය.

මේ මොහොත වනවිට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පවතින තත්ත්වය කුමක්ද කියා එහිදී විපක්ෂනායකවරයා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන්න ලදී.

ඊට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මේ සියළු දේවල් විමසීමට විවාදයක් පැවැත්විය යුතු බවත්, මේ වෙලාව ඊට සුදුසු අවස්ථාවක් නොවන බවත්ය.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පවතින සියළු ගැටළුවලට විපක්ෂනායකවරයා වගකිව යුතු බවයි.

” මං හිතන්නේ මේ කාරණා සම්බන්ධයෙන් විවාදයක් තිබ්බොත් හොඳයි.. පක්ෂ විපක්ෂ විවිධ මත තියනවා.. ඒත් මං විපක්ෂ නායකතුමාට කියනවා මේ සියල්ලට එතුමා වගකියන්න ඕන.. අප්‍රේල් 10 වැනිදා අගමැතිකම භාරගත්තා නම් මෙවැනි ගැටළු ඇති වෙන්නේ නැහැ… මං මට පුළුවන් විදියට වැඩේ කළේ..”

අනතුරුව පක්ෂ විපක්ෂ ඝෝෂා මධ්‍යයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිසබයෙන් පිටව ගියේය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ජනාධිපතිවරයාට ප්‍රකාශ කළේ සිය ගැටළුවලට පිළිතුරු ලබා දී පිටව යන ලෙසයි.

” ආ.. ජනාධිපතිතුමා යනවනේ..ඇයි ජනාධිපතිතුමා යන්නේ? කරුණාකරලා ඉඳලා මගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. ඇයි නැගිටලා යන්නේ? ඇයි නැගිටලා යන්නේ? මොකද බයද? බයද උත්තර දෙන්න බැරිද? මොන නිවට කමක් ද? දැන් මම ජනාධිපතිතුමාගේ කතාවට හොඳින් සවන් දුන්නනේ. ඇයි අපිට උත්තර දෙන්නේ නැත්තේ?…”

Continue Reading

පුවත්

මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ වේ

Published

on

By

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය විසින් අද (09) නියෝග කරන ලදී.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබීය.

නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ දිසා විනිසුරුවරයා නඩුව නැවත ලබන 29 වනදා කැඳවන ලෙසත් නියෝග කිරීම සිදුවිය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, ජ්‍යේෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, උප සභාපති වූ ෆයිසර් මුස්තාපා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් පත්වීම එම පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි බවත් ඔහු එම ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින්  මෙම පෙත්සම ගොනු කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved