Connect with us

පුවත්

හෙටත් අපි වැඩ – මහජන සහ ලංකා බැංකු සභාපතිවරු

Published

on

සිය ගනුදෙනු කරුවන් වෙනුවෙන් හෙට (01) දිනයේ දී ද උපරිම සේවාවක් සැලසීමට තම බැංකු සූදානම් බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරුන් අවධාරණය කර තිබේ.

රටේ ආර්ථිකය ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් නොකොට ඊට සහාය ලබා දීම සියලු රාජ්‍ය සේවකයන්ගේ වගකීම වන අතර ඒ වෙනුවෙන් බැංකු සේවකයන් ද තම වගකීම ඉටු කරනු ඇති බවට ඔවුහු විශ්වාසය පළ කළහ.

බැංකු ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අද (28) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කෙරිණි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට රාජ්‍ය බැංකු ප්‍රධානින් සහ නියෝජිතයන් සහභාගී වි සිටියහ.

රජය ගෙන යන වැඩපිළිවෙළට බාධා එල්ල නොවන ලෙස සහ ගනුදෙනුකරුවන් අපහසුතාවට පත්නොවන ලෙස බැංකු කටයුතු පවත්වාගෙන යෑමට ගතයුතු පියවර පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

එමෙන්ම රට තුළ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් රජය පුළුල් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී ඇති මේ මොහොතේ බැංකු පද්ධතිය අකර්මණ්‍ය බවට වූ පණිවිඩය ජාත්‍යන්තරයට යෑම රටට යහපත් තත්ත්වයක් නොවන බව සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

බැංකු සේවක සේවිකාවන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනු ලබන අවස්ථාවලදී, වැඩවර්ජන සිදු කරන දිනයේ දී යතුරු භාර දීම, රන් ආභරණ ඇතුළත් සේප්පුවල යතුරු භාරදීම ආදි විධිවිධාන ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද හෙට දිනයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ බැංකු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදාළව එවැන්නක් සිදුව නොමැති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.

ඒ අනුව ඊට අදාළ පියවර කඩිනමින් ගන්නා බවට බැංකු සභාපතිවරු ප්‍රමුඛ ඉහළ කළමනාකාරිත්වය එකඟතාව පළ කළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා සඳහන් කළේ ආර්ථිකය ගොඩනැංවීමට රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට බැංකු පද්ධතියේ සහාය අත්‍යාවශ්‍ය බවත්, රට වෙනුවෙන් සිය වගකීම පැහැර නොහරින ලෙස සියලු බැංකු සේවකයන්ගෙන් තමා ඉල්ලා සිටින බවත්ය.

මෙහිදී මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සඳහන් කළේ බදු අයකිරීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට ගතයුතු පියවර පිළිබඳ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි.

සමස්ත රටම ආර්ථික අසීරුතාවකට මුහුණ දී සිටින මේ මොහොතේ අවබෝධයෙන් කටයුතු කරමින් රටේ හෙට දවස යහපත් කර ගැනීමට සහාය දීම සියලු දෙනාගේ වගකීම බව ද ඔහු පෙන්වා දුන්නේය.

ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය :

මේ රට දැන් තිබෙන්නේ ආර්ථික වශයෙන් ඉතා අසීරු අවස්ථාවකයි. මෙ වැනි අවස්ථාවක වෘතීය සමිති කිහිපයක් හෙට දිනයේ වැඩවර්ජනයක් ප්‍රකාශ කර තිබෙනවා. ලංකා බැංකුවේ සභාපති ලෙස මම අපගේ කාර්යමණ්ඩලවලින් ඉල්ලා සිටින්නේ හෙට දිනයේ සේවයට වාර්තා කරන ලෙසයි. මක්නිසාද යත් අපේ බැංකුවේ ගනුදෙනුකරුවන්ටත් මහඟු සේවයක් ලංකා බැංකුව මගින් සිදු වෙනවා. එක දවසක් හෝ බැංකුව වසා තැබුව හොත් එයින් මුළු රටටම විශාල අපහසුතාවක් දැනෙනවා.

ඒ වගේම වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින්නේ බදු මුදල් අය කිරීම සහ බදු අනුපාත අඩු කිරිම පිළිබඳ තීන්දු තීරණ ගත යුත්තේ ආණ්ඩුවයි. එම නිසා අපි මේ ගැටලුව පිළිබඳ ආණ්ඩුව සමඟ කතාබහ කර තිබෙනවා. එම ගැටලුවලට විසඳුම් ඉදිරි කෙටි කාලය තුළ ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. බැංකුව වෙනුවෙන් සහ බැංකුවේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් රාජකාරියට වාර්තා කරන ලෙස මම අපේ සේවක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා.

මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය :

හෙට දිනයේ වෘත්තීය සමිති කිහිපයක් විසින් වැඩ වර්ජනයක් සංවිධානය කර තිබෙන බව අපි දන්නවා . මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස මම ඉල්ලා සිටින්නේ මහජන බැංකුවේ සේවක සේවිකාවන් ලෙස නිසි පරිදි රාජකාරියට වාර්තා කරන්න කියායි. මහජන බැංකුව මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයනවා. අපි ආර්ථිකය ගෙනියන අතර ගනුදෙනුකරුවන් විශාල ප්‍රමාණයකට සේවාවක් සපයනවා. ඒ නිසාම පෙර පරිදි රාජකාරියට වාර්තා කර සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ වෙලාවේ රජයට, රටට, ආර්ථිකයට බලපෑම් ඇති වෙන විදිහට කටයුතු කරන්න එපා කියන ඉල්ලීම අපි සිදු කරනවා.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

පුවත්

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක්

Published

on

By

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.මෙරට ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළඟා වන හරිත ආර්ථිකයක් බවට පරිවර්තනය වීම කෙරෙහි ද රජය අවධානය යොමු කර තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය. 

පසුගිය දින කිහිපයේ සිට මෙරට මුහුණ දිමට සිදුව තිබෙන දැඩි හිරු රශ්මිය අනාගතයේ අයහපත් දේශගුණික විපර්යාසවල සලකුණක් බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස අවම කර ගැනීම කෙරෙහි  කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (07) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ආරම්භ වුණු ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව (Sri Lanka Climate Summit) අමතමිනි. 

“අපේ පෘථිවිය සහ අපේ රට වෙනුවෙන් දේශගුණික ක්‍රියාමාර්ග (Climate Action for our Nation and the Planet)” යන තේමාව යටතේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් පළමු වරට සංවිධානය කළ ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව ඊයේ ඇරඹුණු අතර එය මැයි 09වනදා දක්වා පැවැත්වේ.
ගෝලීය වශයෙන් සහ ජාතික වශයෙන් පුළුල් ඉදිරි දැක්මකින් යුතුව දේශගුණික විපර්යාස පිළිබඳ අර්බුදයේ විවිධ පැතිකඩ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගැනීම සහ එමඟින් ආර්ථිකයේ  ප්‍රධාන අංශවලට ඇති විය හැකි බාධාවන් පිළිබඳ සොයා බැලීම  මෙම දේශගුණික සමුළුවේ අරමුණයි. 

විමෝචනය අවම වන සහ දේශගුණික විපර්යාස සඳහා ඔරොත්තු දෙන ආර්ථිකයක් කරා සංක්‍රමණය වීමේදී සිදු කළ යුතු  ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳව ද මෙම සමුළුවේදී සංවාදයට ගැනෙයි. 

දේශගුණික විපර්යාස පිළිබඳ මධ්‍යස්ථානයක් ද මේ වන විට ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර තිබෙන බවත් දේශගුණික විපර්යාස අවම කිරීමේ නීති සැකසීමේ දී ගෝලීය මූල්‍ය සංවිධාන විසින් පිළිගනු ලබන එක්සත් රාජධානියේ පවතින දේශගුණික විපර්යාස පිළිබඳ පනත අනුගමනය කිරීමට තමා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය. 

එසේම දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී ඉන්දියන් සාගරයේ හා නිවර්තන කලාපයේ රටවල භූමිකාව සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මැදිහත්වීමද පැහැදිළි කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට නියමිත දේශගුණික විපර්යයාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ කටයුතු පිළිබඳව ද පැහැදිළි කළේය. 

Continue Reading

පුවත්

වීසා ගැටළුව ගැන අහන්න ලොක්කෝ දෙන්නෙක් මුදල් කමිටුවට

Published

on

By

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයාව හෙට (09) දිනයේදී රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවා ඇත.

වීසා ගැටළුව සම්බන්ධයෙන් එහිදී ඔවුන්ගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා ඇත්තේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධ සියලුම නීති සම්පාදනය මුදල් කාරක සභාව හරහා යොමු කිරීම සාමාන්‍ය ක්‍රමය වුවද, මෙහිදී එය සිදුවී නොමැති බවයි.

Continue Reading

පුවත්

NEMIS ගැන COPA අවධානය

Published

on

By

2022 වර්ෂයේ විගණකාධිපති වාර්තාව සහ ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (NEMIS) වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වීම සිදුවිය

ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියෙහි (NEMIS) වර්තමාන කාර්යසාධනය පිළිබඳ එහිදී අවධානය යොමු වී තිබේ.

මෙම දත්ත පද්ධතිය පිළිබඳ වසර 4ක සිට කමිටුව හමුවේ සාකච්ඡා කළද තවමත් එය අපේක්ෂිත මට්ටමට ලඟා නොවීම පිළිබඳ කමිටුවේ අප්‍රසාදය පළවිය.

විශේෂයෙන්ම පාසැල් පද්ධතිය පිළිබඳ අවශ්‍ය දත්ත නිවැරදිව මෙම දත්ත පද්ධතිය සතුව නොපැවතීම පිළිබඳවද මෙහිදී පැමිණ සිටි කමිටුවේ සාමාජික මන්ත්‍රීවරු විසින් පෙන්වා දෙන ලදී.

එසේම අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික දත්ත නිවැරදිව පැවතීමේ අවශ්‍යතාව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණි.

2008/37 දරන චක්‍රලේඛයට පටහැනිව අධ්‍යාපන අමාත්‍යාංශ ව්‍යුහ කමිටු අනුමතියකින් තොරව පාසල්වල පන්ති සංඛ්‍යාව වෙනස් නොකළ යුතු වුවද අමාත්‍යාංශයේ අනුමතිය නොමැතිව පැසැල් 29ක විදුහල්පතිවරුන් තම කැමැත්ත අනුව අතරමැදි පන්ති සඳහා නව පන්ති ආරම්භ කර තිබීම පිළිබඳ මෙහිදී අවධානයට යොමු විය. මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මැයි මස 17 දිනට ප්‍රථම මෙම කාරක සභාවට ලබාදෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.

තවද පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ අඩුවක් පවතින්නේද යන්න පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර මේ පිළිබඳ පසුගිය වසර 20ක තොරතුරු ඇතුළත් වාර්තාවක් සති දෙකක් ඇතුළත කාරක සභාවට ලබාදීමට නිර්දේශ කළේය.

එසේම   2022 ජුනි 06 දිනැති අංක ED/1/6/1/10/2022 දරන ජාතික පාසල් අධ්‍යක්ෂකගේ ලිපියක් මගින් රටතුළ පැවති අසීරු වාතාවරණය තුළ ආර්ථික අපහසුතා සහ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් සිසුන් පදිංචියට ආසන්න පාසල් වෙත සිසුන් තාවකාලිකව ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු සලසා තිබුණි. නමුත් මේ සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයන් මතු වී ඇති බව පෙන්වා දුන් කාරක සභාව විෂය භාර අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට මේ සම්බන්ධ තීරණයක් ගන්නා ලෙස නිලධාරීන්ට නිර්දේශ කළේය.

අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ගුරු උපදේශක සේවයේ වර්තමාන තත්ත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉසුරු දොඩම්ගොඩ, මධුර විතානගේ, (ආචාර්ය) හරි නි අමරසූරිය, මුදිතා ප්‍රිශාන්ති, (මේජර්)  ප්‍රදීප් උඳුගොඩ සහ වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved