ආගමික නිදහස අහිමි කිරීම හා ආගමික කරුණු විකෘති කිරීම පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති, ඊයේ (ජුනි 26) දිනයේදී එළඹුනු කැබිනට් තීරණ දැනුම් දීමේ නිවේදනයේ දැක්වේ.
බෞද්ධ ,මුස්ලිම්, හින්දු, කතෝලික හා ක්‍රිස්තියානි ආගමික නායකයන් නීති ප්‍රවීණයන් මාධ්‍ය හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් නියෝජනය කරමින් අදාළ කමිටුව පත් කිරීමට අනුමැතිය ලැබී ඇත.
ආගමික නිදහස ආරක්ෂා කිරීම හා ආගමික ඉගැන්වීම් අපහාසයට ලක්කිරීම වැළැක්වීම සඳහා නෛතික විධිවිධාන හඳුන්වා දීමේ අවශ්‍යතාවය පැන නැගී ඇති බවත්, ඒ අනුව, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීමට මෙම කමිටුව පත් කර ඇති බව ඉහත නිවේදනයේ දැක්වේ.