වර්තමානයේදී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති උද්ධමන අනුපාතිකයෙන් රටේ ජනතාවගේ පාරිභෝජන රටාව නිසි පරිදි පිළිබිඹු නොවන නිසා එය රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේ මිනුම් දණ්ඩක් ලෙස යොදාගැනීම වැරදි සහගත බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පැවසීය.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල නිවේදනය අනුව 2023 සැප්තැම්බර් මාසයේ උද්ධමනය 0.8% දක්වා පහළ බැස ඇත. අගෝස්තුවල තිබුණේ 2.1% මට්ටමේය.
උද්ධමනය ගණනය කිරීම සඳහා යොදාගන්නා කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ සහ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ දත්තයන් පිළිබඳ ගැටලුවක් ඇති බව හෙතෙම පෙන්වා දෙයි.
ආහාර හා ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩ වර්ග 426කින් යුතු භාණ්ඩ පැසක් සලකා බලා ඒවා ජන ජීවිතවලට කොතරම් වැදගත්ද යන්න තීරණය කිරීමෙන් බර තැබීම කිරීම උද්ධමනය මැනීමේදී සිදු කරයි. එහෙත් මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ 2019 වසරේ දෙපාර්තමේන්තුව කළ නියැදි සමීක්ෂණයකට අනුව මෙම බර තැබීම කරතත් 2019 වසරේ සහ 2023 වසරේ පාරිභෝජන රටාව විශාල ලෙස වෙනස් බැවින් එම වසර පාදක කරගෙන අද උද්ධමනය ගණනය කිරීමෙන් නියම ජීවන තත්ත්වය පිළිබිඹු නොවන බවය.
වසර තුනකට වරක් කළ යුතු මෙම සමීක්ෂණය 2022 වසරේ සිදු නොවූ අතර එයට අවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදීම නිසා එය සිදු කරන්නට නොහැකි වූ බව දැනගන්නට ඇතැයි හෙතෙම අවධාරණය කරයි.
ඒ නිසා මෙම උද්ධමන සංඛ්‍යා පදනම් කරගෙන සිදු කරනු ලබන සියලු ආර්ථික ප්‍රතිපත්ති තීරණ පිළිගත නොහැකි බව පවසන මහාචාර්යවරයා සාමාන්‍ය මහජනතාව උද්ධමනය ඇඟට දැනෙන්නේ නැතැයි පැවසීම සාධාරණ බවද කියයි.
(දේශය)